-
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇත. මෙම Whatsapp සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව මෙමගින් දන්වා සිටිමු.
එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් ඉල්ලා සිටිමු.
මාධ්‍ය ඒකකය
-
සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව.
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මාධ්‍ය ඒකකය
-
2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.
මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.
ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය. එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අමාත්‍යතුමිය පැවසී ය.
අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය. මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.
මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් මෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීහූ රැස් ව සිටියහ.
මාධ්‍ය ඒකකය










-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියතමිත අතර, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම එම කුළුණු වේ. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමටත් කටයුතු සූදානම් කර ඇත.
සාමාන්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂයමාලා සම්පාදනය මෙන්ම ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ජාතික අධ්‍යාපන ආයතනයට පැවරී ඇත. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර, මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මාධ්‍ය ඒකකය














-
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. ඊට අදාළ පත් කිරීම් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් සිදු කරනු ලැබූ අතර එම කමිටු සාමාජිකයන්ගේ නම් පහත පරිදි වේ.
- ආචාර්ය ජානක ජයලත් – සභාපති (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශන මණ්ඩල සභික)
- මහාචාර්ය තුෂාර චාමින්ද – සමාජික (ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය)
- මහාචාර්ය ජේ.සී. එන් රාජේන්ද්‍ර – සාමාජික( වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කවුන්සිල සාමාජික)
- ආචාර්ය කේ.ඒ. ලලිතධීර – සමාජික (අධ්‍යක්ෂ ජනරාල්, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව)
- ඉංජිනේරු එස්.බී. අනුර දේශප්‍රිය සේමසිංහ – සාමාජික (ප්‍රධාන විධායක නිලධාරි, මධ්‍යයම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා/ අබුඩාබි
- හිමාලි ඩබ්. කේ අතාවුදගේ – කැඳවුම්කරු (අතිරේක ලේකම්, වෘත්තීය අධ්‍යාපන අංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය)
මාධ්‍ය ඒකකය
-
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක…

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ (State Printing Corporation – SPC) පානළුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නිල නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා 2025.10.15 එක්විය. මෙම සංස්ථාව, පාසල් පෙළපොත් මුද්‍රණය, අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සහතික පත්‍ර මුද්‍රණය වැනි විශේෂිත මුද්‍රණ කටයුතු සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි.
ආයතනික ප්‍රගති සමාලෝචනය, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය, ලබන වසර සඳහා උපාය මාර්ගික සැලසුම්කරණය, සේවක සුබසාධනය හා සංවර්ධනය පිළිබඳ අදහස් ලබා ගැනීම මෙම නිල නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණු විය.
නිරීක්ෂණ චාරිකාවේදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවකයින් සමග සුහද සංවාදයකද නිරත විය. සේවකයින් අමතා අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, “මීළඟ වසර වන විට සම්පත්වල උපරිම දායකත්වය අත්පත් කරගෙන සංස්ථාවක් ලෙස වපසරිය තව තවත් පුළුල් කර ගනිමින් සේවක තෘප්තියද ඉහළ නැංවීම” සිය ඒකායන බලාපොරොත්තුව බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ “පුළුල් වපසරියක් සහිත සංස්ථාවක් බවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පත් කර රටට මෙන්ම සේවකයින්ටද ප්‍රතිලාභ ලබා දීම” සිය පරමාර්ථය බවයි.
මෙම චාරිකාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය හමුවී සාකච්ඡාවකද නිරත වූ අතර එහිදී දැනට පවතින ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අභිමතාර්ථ ජය ගැනීම සඳහා වන නව උපාය මාර්ගික සැලසුම් පිළිබඳ අවධාරණය කළේ ය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමන්, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය














-
“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025” තුළින් නව තරග වාර්තා රැසක්.

‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත් ව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (14)වන දින පැවැත්වුණි.
මෙහිදී දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් කණ්ඩායම් තරග සඳහාද, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක – ක්‍රීඩිකාවෝ පන්දහසකට ආසන්න පිරිසක්ද සහභාගි වූ අතර, පාසල් 1,170 ක් නියෝජනය කරන ලදි.
අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සම්මාන ලබන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 49.90 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් අයෝමාල් අකලංක ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 54.09 ක තරග නිමි කාලය පදනම් කර ගනිමින් ජිත්මා විජේතුංග ද අදාළ සම්මාන දිනා ගත්හ.
මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහල නියෝජනය කළ ඔමෙල් සශින්ත (අවුරුදු 20 න් පහළ මීටර් 400 – තත්. 46.17) සමත් වූ අතර දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ එච්. යූ. ජයසිංහ (අවුරුදු 20 න් පහළ යගුලිය දැමීම – මීටර්. 16.27) ට හැකියාව ලැබිණි.
මෙවර දක්ෂතම කඬුළු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්.49.90) සමත් වන අතර වාරයේ දී දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනැමෙන කුසලානය දිනා ගැනීමට කොළඹ 06, ශාන්ත ලෝරන්ස් විදුහල නියෝජනය කළ ඔෂිනී කොඩිකාර (අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනිම මීටර් 06. 03) සමත් වූවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියට ද මධ්‍යම, සබරගමුව, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සමස්ත ලංකා පාසල් තරග වාර්තා 38 කින් ස්වයංපෝෂිත වීම ඒ අතරේ කැපී පෙණුනි.
දින 05 ක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතා කුසලාන මීගමුවට රැගෙන යාමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 148) සමත් වූ අතර වාරයේ දී සමස්ත බාලිකා ශූරතා කුසලාන වත්තලට රැගෙන යාමට ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 213) ට සමත් විය. මාරිස්ටෙලා විදුහල මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතා කුසලාන නොකඩවා දිනා ගන්නා ලද තෙවන අවස්ථාව මෙවර සටහන් වීම ඉහළ අගයක් ගත්තේය.
එකී බාලක අනු ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ( ලකුණු 99) ට හිමි වූ අතර බාලිකා ලකුණු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 93 ) සතු විය. සමස්ත බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙලින් තහවුරු කර ගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 77) සහ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 61) සමත් විය.
ලකුණු 1,277 වාර්තා කර ගනිමින් අන්තර් පළාත් සටනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. එකී අනු ශූරතාව මධ්‍යම පළාත (ලකුණු 414) ට හිමි වූ අතර තෙවැනි ස්ථානය වයඹ පළාත (ලකුණු 315.5) සතු විය.
මෙවර ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අවසන් දිනය වූ ඊයේ (14) බිහි වූ නව තරග වාර්තා සංඛ්‍යාව 09 කි. මෙවර ක්‍රීඩා උළෙල වර්ණවත් කළ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂී අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩීකාව තමන් සහභාගී වූ ඉසව් ත්‍රිත්වය ජය ගත්තේ නව තරග වාර්තා ත්‍රිත්වයක් බිහි කරමින් වීම ඉහළ අගයක් ගත්තේය.

































-
අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (IMSO – 2025) සඳහා සහභාගී වූ සිසුන්ට ජයග්‍රහන රැසක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා ශාඛාව හා ගණිත ශාඛාව මගින් වාර්ෂිකව අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහා සිසුන් සහභාගී කරවන අතර,
2025 තරගය මැලේසියාවේ කෙදා හිදී 2025.10.05 සිට 2025.10.09 දින දක්වා පැවැත්වීනි.
පාසල් , කලාප හා පළාත් මට්ටමේ තරග පවත්වා පළාත් තරගයෙන් ජයග්‍රහණය කළ සිසුන්ට, පවත්වන ලද ජාතික තරගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් මේ සඳහා තෝරාගනු ලැබේ. එසේ තෝරාගත් සිසුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසු විද්‍යා අංශයෙන් සිසුන් 12 ක් හා ගණිත අංශයෙන් සිසුන් 12 ක් අන්තර්ජාතික තරගාවලියට සහභාගී විය. එහිදි විද්‍යා අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන්,
හිමෙත් කෙම්සර අබේසිංහ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එම්.එම්.කවිත්ම කොළඹ ආනන්ද විද්‍යාලය, ආර්. අක්ෂත් හින්දු විද්‍යාලය, යාපනය , එන්.බී.තෙනුක් වින්සිත බදුල්ල මධ්‍ය විද්‍යාලය යන සිසුන් විසින් රිදී පදක්කම් 04 ක් හිමිකරගත් අතර, සහභාගී වූ අනෙක් සිසුන් 8 දෙනාම ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.
ගණිත අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන් සිසුන් හත් දෙනෙකු ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.
එමෙන්ම මෙම තරගාවලියේ පැවති STEM කණ්ඩායම් තරගයෙන් සහභාගී වූ සියළුම රටවල් අතරින් හතරවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකිවිය.
අන්තර්ජාතික තරගයකින් මෙලෙස පදක්කම් රැසක් දිනාගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.
මාධ්‍ය ඒකකය.






-
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මතුගමදී…

නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම් උළෙල 2025 ඔක්තෝබර් 13 දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නිදහස් අධ්‍යාපන ක්‍රමය රටට දායාද කිරීම වෙනුවෙන් කන්නන්ගර මහතා කළ මෙහෙය අගය කිරීම සහ එම ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සිහිපත් කිරීම මෙම සැමරුම සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මඟ ඔස්සේ යමින් නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සිය ඒකායන වෑයම බවයි.
ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ විෂය මාලාවක් හඳුන්වා දීම,තාක්ෂණය හා නවෝත්පාදනය අධ්‍යාපනයට මුසු කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරපුරක් බිහි කිරීම,ගුරු පුහුණුවෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සෑම දරුවෙකුටම සමාන අවස්ථා උදාකරමින් සමාන පහසුකම් ඇති පාසල් ගොඩ නැඟීම පිළිබඳ ව ඒ මහතා මෙහිදී අවධාරණය කළේ ය.
කන්නන්ගර මහතා දැකීමට උත්සාහ කළ සමානාත්මතාව හා ගුණාත්මක අධ්‍යාපනය 21 වන සියවසේ දැනුම හා කුසලතාවලින් සන්නද්ධ කරමින් ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙය හුදෙක් පුද්ගල සැමරුමක් ලෙස නොගෙන සමස්ත නිදහස් අධ්‍යාපනය හා බැඳුණු ප්‍රතිපත්ති මාලාවක් ලෙස වටහා ගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
මෙහිදී කන්නන්ගර ගුණානුස්මරණ පදනම දීපව්‍යාප්තව පැවැත්වූ කන්නංගර අනුස්මරණ නිර්මාණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට ත්‍යාග බෙදාදීම ද සිදුකරන ලදි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ කන්නන්ගර පවුලේ ඥාතීහු ද සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය.











-
එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.

— වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ
එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු පියන් හැර දමා අධ්‍යාපනය සඳහා සම බිමක් නිර්මාණය කරමින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ගම් දනව් කරා පතුරුවා හැරීමේ මං පෙත් විවර කළේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්වතාණන් බව වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන් ම වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දිනට (2025.10.13) යෙදෙන කන්නන්ගර මැතිතුමන්ගේ 141 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට ඇති කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙවගේ මහතා ප්‍රකාශ කළේ, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ කන්නංගර විද්වතාණන් ලාංකික ජන හදවත් තුළ අමරණීය මතක සටහන් එක් කළ සීමිත පිරිස අතර ඉහළින් ම සිටින චරිතයක් ලෙස අවිවාදයෙන් ම හැඳින්විය හැකි බවයි.
විශේෂයෙන් ම 50-60 දශකයේ දී බොහෝ ග්‍රාමීය දරු දැරියන් පිරිසකට මෙම නිදහස් අධ්‍යාපනය යටතේ සරසවි වරම් විවර වූ අතර අධ්‍යාපනයේ සම අවස්ථා රටේ සැමට හිමි කර දීමට ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් ඒ මහතා අද වන තෙක් මෙරට ජනතාවගේ ගෞරවාදරයට ලක් වන බවයි.
අද දින දිවයින පුර කන්නංගර ගුණානුස්මරණ වැඩසටහන් මගින් එතුමාගේ ගුණ සැමරෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.
මාධ්‍ය ඒකකය.







-
සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමග 2024.07.01 දින අත්සන් කරන ලද ගිවිසුම සංශෝධන සහිතව යාවත්කාලීන කර එහි නව ගිවිසුම සඳහා අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (09) දින සිදු විය.
ඒ අනුව යාවත්කාලීන කළ නව ගිවිසුම හරහා පාසල් සිසුන් වෙත ලබා දෙන ප්‍රතිලාභවල වැඩිවීමක් සිදු කර ඇති අතර එම නව සංශෝධිත ප්‍රතිලාභ මෙසේ ය.
සෞඛ්‍ය රක්ෂණාවරණ
- නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000 /- (රජයේ / පෞද්ගලික රෝහල්)
- බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/-
- අසාධ්‍ය රෝග ප්‍රතිලාභ – රු. 1,500,000/- සිට
අනතුරු රක්ෂණාවරණ
- පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු. 200,000/-
- සදාකාලික අර්ධ අකර්‌මණ්‍යතා සඳහා – රු. 150,000/-
- තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000 /- සිට රු.100,000/- දක්වා
ජීවිත රක්ෂණාවරණය
වාර්ෂික ආදායම රු. 180,000/- කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ”අස්වැසුම” වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය/නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/- බැගින් හිමි වේ. එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන අතර පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරේ. මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වේ.
මෙම වැඩසටහන 2025/2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමේ දී පෙර පැවති ප්‍රතිලාභවලට අමතරව නව සංශෝධන ඇතුළත් කරමින් 2025.10.09 දින ගිවිසුම සංශෝධනය කිරීමේ හේතුවෙන් නව ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින්නේ 2025.09.01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා පමණි.
සිදු වූ එම සංශෝධන පහත පරිදි ය.
I. 2024/2025 වර්ෂයේ දී දෙමාපිය මරණයක දී හිමි වන ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලනු ලැබූ වාර්ෂික ආදායම රු.180,000/- ක් වේ. එසේ වුව ද, 2025.09.01 දිනෙන් පසු එම ප්‍රතිලාභය ලබා දීමට සලකා බලනු ලබන වාර්ෂික ආදායම රු.240,000/- කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය වේ.
II. මෙම වැඩසටහන යටතේ විවිධ වූ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන් මින්පෙර ආවරණය නොවුණි. එබැවින් 2025.09.01 දිනෙන් පසු අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සහ පහත සඳහන් රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්හට බාහිර ප්‍රතිලාභ ලෙස රු 20,000/- යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
- Epilepsy
- Nephrotic syndrome
- Rheumatoid arthritis
- Systemic lupus erythematosus
- Ulcerative colitis
- Crohn’s disease
- Rheumatic valvular heart disease
III. කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.
IV. කර්ණ ශංඛ උපකරණ සඳහා වන වියදම (උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු විසින් නිර්දේශිත) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.
V. හදිසි අනතුරක දී පමණක් ලබා දුන් ‘Lumber Guards and cervical collars’ උපාංග සඳහා හදිසි අනතුරක් නොවන අසනීප අවස්ථාවක දී ද ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම (විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශිත).
ප්‍රතිලාභ ලබා ගැනීමේ දී හිමිකම් පත්‍රය ඇතුළු අදාළ අනෙකුත් සියලු ම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු වේ.
මාධ්‍ය ඒකකය.





-
38 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය දියගම දී…

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.10 වන දින දියගම දී ආරම්භ විය. දිවයිනේ පාසල් 1,170ක් නියෝජනය කරමින්, තරග අංශ 525කින් සමන්විත මෙම මලල ක්‍රීඩා තරගාවලිය මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලියයි.
ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරමින් සමාරම්භක ප්‍රකාශය සිදු කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසා සිටියේ ක්‍රීඩාව පමණක් නොව දරුවෙකුගේ පෞරුෂය, තීරණ ගැනීමේ හැකියාව, සහ කණ්ඩායම් හැඟීම වර්ධනය සඳහා පාසල තුළ සිදු කරන ක්‍රීඩා ඉවහල් වන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩාවේ වැදගත්කම දන්නා රජයක් ලෙස, ක්‍රීඩකයෙකුගේ අංකුර අවස්ථාවේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයින් ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි. ඊට අමතරව, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද ක්‍රීඩාවේ සංවේදනය ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව ද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු කලාප අධ්‍යක්ෂවරුන්, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විෂය භාර කලාප අධ්‍යක්ෂවරුන්, පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

























-
‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
කුඩා කාලයේ දී දරුවන්ගේ මනසට වැටෙන වචන, සිතුවිලි සහ කතා ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලපාන ප්‍රබල සාධකයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මඟින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කළ ළමා පොත් පිළිබඳ ව උපදෙස් සංග්‍රහය වන “Fiction Wonderland : A Comprehensive Guide to Creating Children’s Fiction Books” යන කෘතිය අමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසී ය:
“දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ දරුවන්ට කියවීමේ රසයත් සමග නිරෝගී, සංවේදී මනසක් ගොඩනගා දීමයි. එබැවින් ළමා සාහිත්‍ය නිර්මාණය කළ යුත්තේ සරල වචන වලින් පමණක් නොව, දරුවාගේ මනස බබළවන විචාර සහ වටිනාකම් අන්තර්ගත කරමිනුයි.”
මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේදී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛකයන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙන බවත් දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අතර ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ඒකාබද්ධව දියත් කරන මෙම වැඩසටහනට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහූ එක් වූහ.




-
අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය

ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයට සමගාමී ව අපේ රටේ ඔක්තෝබර් මස 06 වෙනිදාට යෙදී ඇති ජාතික ගුරු දිනය සමරමින් මෙවරත් දීපව්‍යාප්ත ව පවත්වනු ලබන විවිධ ගුරු ගුණ සැමරුම් උපහාරයන්ගෙන් පිදුම් ලබන සියලු ගුරු භවතුන්ට හෘදයාංගම ව සුබ පතමි.
මෙවර ජාතික ගුරු දින තේමා පාඨය වී ඇත්තේ, “ඉගැන්වීම, සාමුහික වෘත්තියක් ලෙසින් නව අරුතකින් හඳුනාගැනීම”, යන්නයි.
ඒ අනුව ගුරුවරුන්ගේ හඬට සවන් දී ගුරුවරුන් අගයන අතර ම අධ්‍යාපනය සඳහා වූ නව සමාජ කතිකාවතක ඉදිරියට ම යෑමට අප පියවර ඔසවා ඇත්තෙමු.
ජාතික ගුරු දිනයේ දී අපේ රටේ සමස්ත ගුරු භවතුන්ගෙන් ම මා ඉල්ලා සිටින්නේ, ඒ ගමන තුළ අධ්‍යාපන ඉතිහාසයේ නව පිටුවක් ලිවීමට අප හා එක් ව අත්වැල් බැඳ ගන්නා ලෙසයි.
අනාගත ලෝකයේ ඉදිරි දශකයක දුරට අවධානය යොමු කළත් අප සිසු පරපුර රැගෙන යා යුතු වෘත්තීයාභිමුඛ, තාක්ෂණික ඩිජිටල් අධ්‍යාපන රටාව පිළිබඳ පෙරදැක්මක්, දැයේ මාර්ගෝපදේශක ගුරු පරපුරට පවතිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
එම අනාගතය දිනාගැනීම සඳහා දරුවන් ජානගත ව දක්ෂයන්, සුදුස්සන් බවට පත් කිරීමේ වගකීමෙහි වැඩි බරක් ගුරු පරපුරේ දෑත මතට පැවරී තිබෙන බව නොරහසක්.
ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයේ උසස් පෙළ විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් වන අතර ඊට අවශ්‍ය ද්විතීයක පාසල් හා පුහුණු ගුරු භවතුන් ඇතුළු පහසුකම් හා මානව සම්පත් කඩිනමින් අප තෝරාබේරාගත යුතු ව ඇත.
අවම පහසුකම් මත ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා දරුවන්ට සිප් සත බෙදන ගුරු දෙමාපියවරුන් මේ අවස්ථාවේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
අද දින ඇගයෙන ගුරු ගුණ අතර ප්‍රසිද්ධියේ ඉස්මතු නොවන තම හෘද සාක්ෂ්‍යයට එකඟ ව අසීමිත කැපවීම් නිහඬ ව සිදු කළ ගුරුභවතුන් ද මේ මොහොතේ මම ඉතා ගෞරවාදරයෙන් සිහිපත් කරමි.
නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත ව ගුරු භවතුන්ගේ අසීමිත සේවය සිසු හදවත්වල සදා නොමැකෙන සේ සනිටුහන් කරවීමට සමත් සේවයක් ඉටු කිරීමට, අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට හැකි වේවායි, 2025 වසරේ ජාතික ගුරු දිනයේ දී මම ඉතසිතින් ම ශුභ ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය -
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025 නමින් මෙවර පාසල් ක්‍රීඩා උළෙල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස 10 සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.
38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරගවලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇත.
දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන අතර, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරයි. පාසල් 1170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කෙරෙනු ඇත.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා ටී. දික්කුඹුර මහත්මිය, අධ්‍යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය




-
ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – 2025/26
නිවේදනයයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය එක් ව සංවිධානය කරන ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 50 ක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා ද්වීභාෂා අධ්‍යාපන කාර්යයේ යෙදෙන ගුරුභවතුන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත හා අදාළ අනෙකුත් තොරතුරු https://pgie.ou.ac.lk/postgraduate-diploma-in-bilingual-education අන්තර්ජාල සබැඳිය හරහා ලබා ගත හැකිය. නිසි ලෙසට සම්පූර්ණ නොකළ හා ආයතන ප්‍රධානියා සහතික නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
-
පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දී ඇති විවිධ ගැටලු පාසල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අතර පාසල්වල තිබෙන අසමානතාවය, දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී ප්‍රකාශ කරන ලදි.
තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවයබවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
ඇය කියා සිටින්නේ, මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවයි. එසේම ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල් වල නමට වඩා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’ යන්නයි.
අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව අවධාරණය කරන ලදි.
Sඅමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවත්, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් අපි දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින් පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇමතිතුමිය විසින් ප්‍රකාශ කරන ලදි.
දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම, සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේදී විශේෂ කටයුතු සිදු කර තිබේ. ප්‍රාථමික පන්තිවල දරුවන් 40 දක්වාත් සහ ද්විතියික පන්තිවල 45 දක්වා සීමා කර ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දෙයි.
අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ‘අධ්‍යාපන පද්ධතිය විභාගවලට ලියාපදිංචි කරන ආයතනයක් පමණක් නොවී දරුවන්ගේ අත්දැකීම් හා ගුණාත්මක ඉගෙනුම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට, තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි. මෙම පරිවර්තනයේ දී දෙමාපියන් ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, අභියෝග ඇති වුවද එය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවත් අවධාරණය කෙරේ.
මාධ්‍ය ඒකකය


-
ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.

“අවුරුදු දහයකින් පහළොවකින් මේ රට කොහොමද තියෙන්න ඕන, අන්න ඒ සඳහා අවශ්‍ය DNA එක හදන එකයි, අධ්‍යාපනයෙන් අපි මේ කරන්නේ”
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් ජාතික හා පළාත් පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වැඩසටහන යටතේ මේ දක්වා දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර, එහි අඛණ්ඩ පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (2025.10.04) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, හා විවිධ අධ්‍යාපන බලධාරීන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ තුන්සිය පනහකට ආසන්න විදුහල්පතිවරු පිරිසක් සහභාගි විය.
ජාතික අධ්‍යාපන ආයතනයේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා ක්‍රියාමාර්ග පිළිබඳ විදුහල්පතිවරුන් අතර සවිස්තර අවබෝධයක් ඇති කිරීමයි.
ඒ අනුව, අනාගතයේ දී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මාධ්‍ය ඒකකය










-
“ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025”

ඔක්තෝබර් 05 දින යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින්, සංවිධානය කරනු ලබන “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025” ඇගයීම් උළෙල 2025.10.03 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ හත්වන මහල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

-
සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමෙන් සමාජගත කළ යුතුයි

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ, ‘ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය සතුට පතුරවන අද වැනි දවසක බෙදාහදාගැනීම, එකමුතුකම වැනි යහ ආකල්ප කෙරෙහි වැඩි අවධානයක්’ යොමු කළ යුතු බවයි.
අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන් ම කාර්ය මණ්ඩලය ද එක් ව සිටියහ.
මාධ්‍ය ඒකකය














-
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම

2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇත. එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.
නාලක කළුවැව
ලේකම්

-
ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු උපදෙස්/මාර්ගෝපදේශ වන්නේ නම් ඒවා පාසල් වෙත නිකුත් කිරීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.
නාලක කළුවැව
ලේකම්
-
“දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවෙයි”

දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසී ය:
“මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක්. පාසලේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා පොලිසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා. සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම් වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්. ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලු දෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක. මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය. අපි දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ. හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරික ව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා. අන්න එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ, අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා, මම හිතන්නෙ. ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්. අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.
අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න, අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි. සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්. ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. එක්කයි, ගැටලුව. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තව මත් ඉතා ම ප්‍රේමණීය විදිහටනේ හිතන්නේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය ළමයින්ට දරාගන්න බැරි තත්වයකට පත් වෙලා. අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන. ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි. එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ”.
මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ, මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය බවයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ද මෙහි දී අදහස් දැක්වී ය:
“අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සහ පාසල් සම්බන්ධයෙන් කියන්න වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පාසල් පවත්වාගෙන යෑම සඳහා ඉතා විශාල අරගලයක විදුහල්පතිවරුන් නියැළිලා ඉන්නවා කියන එක. බොහෝ වෙලාවට ළමයින්ගෙන් සල්ලි එකතු කරන දේවල් අපිටත් වාර්තා වෙනවා. දවසක් මම ලේකම්තුමාටත් කතා කළා මේ ගැන. චක්‍රලේඛත් නිකුත් කරලා තියෙනවා. පාසල් සංවර්ධන සමිතිත් තියෙනවා. ඒවට සල්ලිත් ගන්නවා. පාසලේ වැඩ කරන්නත් තියෙනවා. දැන් ඒවා යම් කෙනෙකුට අල්ලසක් විදිය පේන්නත් පුළුවන්. ඒ නිසා ඒවා ඇත්තට ම විධිමත් කරන්න ඕනේ. ඔබට ගත හැකි දේවල් සහ ගන්න බැරි දේවල් ලෙස. මොකද එහෙම නැත්නම් අවංක ව තමන්ගේ ඉස්කෝලේ හදන්න ඕන කියලා කියන ගුරු ගීතයේ වගේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා. ඒක නිසා ඒවා හදන්න ඕනේ. එතකොට අපිටත් ඇයි වැඩි දේවල් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ළමයි ඉස්කෝලේ දාන ඒකත් ඇත්තට ම අපිට එක පැත්තක ඉඳන් බලන්න බෑ. විදුහල්පතිවරුන්ට තියෙන වැඩි ම චෝදනාව ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි ගන්නවා කියන එක. එතකොට ළමයි ඉස්කෝලේ දාන්න සමහරුන් සල්ලි දෙනවා. සල්ලි දීලා ළමයි ඉස්කෝලේ දාගත්ත අය කවදා වත් අපිට පැමිණිලි කරලත් නැහැ, මගේ ළමයා ඉස්කෝලෙට දැම්මේ සල්ලි දීලා කියලා. හැබැයි ඒ අයත් කියනවා ලංකාව මාර දූෂිතයි, ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න වත් බෑ සල්ලි දෙන්නේ නැතුව කියලා. එතනත් මානුෂික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ඒකට ‘සිස්ටම්’ එකක් හදන්න ඕනේ අනිවාර්යයෙන්.
මාධ්‍ය ඒකකය











-
සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවත් ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.
සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්‍යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අමාත්‍යතුමිය මෙහි දී ප්‍රකාශ කළා ය.
මාධ්‍ය ඒකකය







-
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක්…

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
අමාත්‍යවරිය මේ බව පැවසූවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රොබෝ ෂූ -2025 රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ සමස්ත ලංකා පාසල් තරගාවලිය නමින් අද දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පැවසූවේ, රටක් වශයෙන් තාක්ෂණය මුල් කරගනිමින් අභියෝග ජයගත හැකි පරපුරක් බිහි කිරීමේ භුමිකාවක් අධ්‍යාපනයෙන් ඉටු කරන බවයි. ගෝලීය තාක්ෂණික පරිණාමයන් හා රැකියා වෙළඳපොළේ ඉල්ලුම සමග ගැළපෙන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද, වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයන් පමණක් නොව, කෘෂිකර්මය, කර්මාන්ත මෙන් ම එදිනෙදා සාමාන්‍ය ජීවිතය ද වෙනස් වෙමින් තාක්ෂණය ද ශීඝ්‍රයෙන් යාවත්කාලීන වෙමින් පවතින බව ද අමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නා ය.
පාසල් දූ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීම, ඔවුන් දිරිගැන්වීම හා ඇගයීම, අනාගත වැඩ ලෝකයේ දිශානතිය පිළිබඳ අවබෝධය යාවත්කාලීන කරවීම, නව්‍යතාවෙන් යුතුව සිතීමට දරුවන් යොමු කරවීම හා එමඟින් දරුවන්ගේ නවෝත්පාදන හැකියාව වැඩි දියුණු කිරීම, රොබෝ තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි රජයේ මැදිහත්වීම ශක්තිමත් කර, පාසල් දූ දරුවන්ගේ හැකියාවන් දිවයින පුරා ප්‍රචලිත කරවීම මෙන් ම අනාගත වැඩ ලෝකයට සරිලන පරිදි ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය රොබෝ ශිල්පීය කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම එමඟින් ස්වංක්‍රීයකරණය පිළිබඳ ව්‍යවසායකත්ව සංකල්ප ස්ථාපනය කිරීම යන අරමුණු පෙරදැරිව මෙම රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලිය පැවැත්වෙන අතර නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යයන, අධ්‍යාපන, ඉංජිනේරු, නිෂ්පාදන, විනෝදාස්වාද, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක යන ක්ෂේත්‍ර ඔස්සේ වාර්ෂික ව මෙම තරඟාවලිය පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි ජාතික හා පළාත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතුවල නිරත වන වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් මෙම තරගය සඳහා සහභාගී වන අතර, ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා මූල්‍ය ත්‍යාග සහ කුසලතා සහතිකපත් ලබා දේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහමඩ් නවවි යන මහත්ම මහත්මීන් එක් වූ අතර සිසු දරුවන්ගේ විවිධ නිර්මාණ නිරීක්ෂණයට අගමැතිනිය ද ඔවුන් හා එක් වූවා ය.
මාධ්‍ය ඒකකය














-
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.

– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි විධිමත් සැලැස්මක් අනුව සියලු ම පාසල්වලට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. පළාත් මනෝ සමාජීය සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන්ගේ පුරප්පාඩු සහ සම්පත් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳ ව මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ධනාත්මක විනය පාලන ක්‍රම පිළිබඳ ව ද, මෙහි දී අවධානය යොමු කළ අමාත්‍යවරිය ගැටලු නිරාකරණය, මත්ද්‍රව්‍ය, අපයෝජන මෙන් ම ළමා හිංසනය ආදී ගැටලු සියල්ල ම එක ම තැනකින් විසඳීම හරහා වඩා ඵලදායීතාවක් ලබා ගත හැකි දැයි යන්න සලකා බලන ලෙස ද පැවසී ය.
ගුරුවරුන් ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරමින් අන්තර් ජාතික ප්‍රමිතීන් ද සැලකිල්ලට ගෙන ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බවත් එහි නියමු ව්‍යාපෘතිය යටතේ සකස් කරන ලද පන්ති කාමර තුළ දරුවන් ඉතා සතුටින් සිටින බවත්, එහි නියමු වැඩසටහන මේ වන විට පළාතකින් පාසල් 10 බැගින් ගෙන පාසල් 50ක් ආවරණය වන පරිදි සාර්ථකව සිදු වන බවත් මෙහි දී අමාත්‍යවරියගේ අවධානයට යොමු විය.
මාධ්‍ය ඒකකය




-
ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කළ හැකියි.

– අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත් ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදු කළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසී ය,
“ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක්. මේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටත් ප්‍රතිපත්ති සකස් කරමින් ඒ සඳහා මග පෙන්වීමටත් අපි අවුරුදු තුනක් සඳහා ඩිජිටල් කාර්ය සාධන බලකාය පත් කළා.
ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම හදලා අපි දරුවන්ට දුන්නහම දරුවන් ඒ මාර්ගයේ ඉදිරියට යයි. ඒ නිසා ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම, ව්‍යුහය, ප්‍රතිපත්ති ආදිය හදලා ඒකට අවශ්‍ය පියවර සකස් කර දීම අනිවාර්යයෙන් ම අපි අතින් සිද්ධ විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් ඔබෙන් ලැබෙන දායක්ත්වය අගය කරනවා.”
අමාත්‍යවරියගේ අදහස් දැක්වීමෙන් අනතුරු ව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ. බී. එම් අස්රෆ් මහතා ද මෙහි දී අදහස් පළ කළේ ය:
“දැනට 42,000ක පමණ ගුරු හිඟයක් පවතිනවා. සියලු ම විෂයන්ට හා සියලු ම ප්‍රදේශවලට මෙය පැතිරිලා තියෙන්නේ. අපි මෙහි දී ඩිජිටල්කරණයෙන් යම් සහනයක් ලබා දෙන්න උත්සහ කරනවා. අධ්‍යාපනය ලැබීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් සූදානම් කිරීම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් ඉදිරියේ දී අපි කටයුතු කරනවා.
ව්‍යසනයක් ඇති වුවහොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ, පාසලට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය මොන වගේ විය යුතු ද කියලා අපි සොයා බලනවා. ඒ වගේ ම අන්තර්ජාලයට හා විද්‍යුත් උපාංගවලට ළමුන් ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්නත් අප සූදානම්.”
වැඩිදුරටත් අදහස් දක්වමින්, දරුවන් අධ්‍යාපනයේ සිරකරුවන් නොකර ඩිජිටල්කරණයෙන් දරුවන්ට අලුත් ජිවිතයක් නැවත ලබා දෙන්න කටයුතු කළ යුතු අතර පවතින අසමතුලිතතාව අඩු කර දුෂ්කර පළාත්වල පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඩිජිටල්කරණය උපයෝගි කරගත යුතු බවත් ඒ. බී. එම් අස්රෆ් මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.
මාධ්‍ය ඒකකය
















-
ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම යටතේ පාසල් සඳහා ඩිජිටල් උපාංග ලබා දීමට සමාන්තරව පාසල් පද්ධතියේ මානව සම්පත් ධාරිතා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස චීන මහජන සමූහාණ්ඩුව සමග පවත්වන ලද විදේශ පුහුණු වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.
ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාසල්, කලාප හා පළාත් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන වැඩසටහන, මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියට ලැබුණුු සුවිශේෂ අවස්ථාවක් වන අතර එහි පළමු වටය සඳහා 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විදේශ පුහුණු වැඩසටහනට සහභාගී වී ඇත.







-
නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්විය.
මෙම රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
මෙහි දී උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර දැනට පවතින ප්‍රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බව අමාත්‍යවරිය අවධාරණය කරන ලදි.
සියලු උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා විවෘත සහ ගුණාත්මක නියාමන රාමුවක් නිර්දේශ කිරීමේ වැදගත්කමත්, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හා ගෝලීය ප්‍රමිතීන් සමග උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගමන සම්බන්ධ කරගැනීමේ වගකීමත් විශේෂයෙන් අවධාරණය කෙරිණි. එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම නව ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වාදෙන ලදි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) ඒච්.ඩී. චන්දිමා ජානකී මහත්මිය සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු සහ විශේෂඥයන් විශාල පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය




-
බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට…

බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ඇතුලු ගිහි පැවිදි සාමාජිකයින් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි.
එහි දී වත්මන් රජය යටතේ ආගමික අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යය විෂයන්ද කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කරන ලදි.
එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් කරන ලද විමසීමක දී ආගමික හා සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කර සිටියේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම තුළින් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලු දරුවන්ට ලබා දීමට අපේක්ෂිත බවත්, ඉන්පසුව තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්ය.
එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳවත් අවධානය යොමු වූ අතර ඒ සඳහා පිළියමක් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ප්‍රකාශ කර සිටියේ මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බවත්, ඉන්පසුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවයි.
මාධ්‍ය ඒකකය







-
පාසල් ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නව මොඩියුලර් සහ විධිමත් ඇගයීමේ ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්න.

බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී සිදුවිය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික මොඩියුලර් සකස් කර ඒවා හඳුන්වාදීමටත්, ඒ සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා ඒවා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.
පාසල් තුළ ආගම විෂය උගන්වන ගුරුභවතුන්හට වෙනත් විෂයන් ඉගැන්වීමට සිදුවන අවස්ථා අවම කොට කාලපරිච්ඡේද 20ක් ආගම ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවට යෝජනා වූ අතර, මේ වන විට අක්‍රීය වී ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලදි.
පාසල්වල ගුරු සේවයේ නිරත වන ස්වාමීන් වහන්සේලා හට විශේෂ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට සුදුසු බවට ද යෝජනා විය.
අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහ නායක කොලොන්නාවේ සිරි සුමංගල හිමි සහ අමරපුර මහා නිකාය අරියවංශ සද්ධම්ම යුුක්තික පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි මහනායක හිමියන් ඇතුළු උපදේශක සභාවේ සාමාජික ස්වාමීන් වහන්සේලා එකොළොස්නමක් සහභාගී වූ මෙම සාකච්ඡාව සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්, ආගමික සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
මාධ්‍ය ඒකකය






-
ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන්ගේ දහම වත්මන් සමාජයට මනා පූර්වාදර්ශ සපයයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනානුස්මරණ මිලාද් උන් නබී උත්සවයට සමගාමීව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව මගින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2025.09.16 වන අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සත්වන මහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී ප්‍රකාශ කර සිටියේ නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් ඉස්මතු වන කරුණාව, අවංකභාවය, අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය සහ වෛර නොකිරීම වැනි උසස් මානව ගුණාංග අද සමාජයට ගත හැකි හොඳ ම ආදර්ශයන් වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ, ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන් තම දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන් මෙන් ම පරිත්‍යාගශීලී ක්‍රියාවන්ගෙන් ද සමාජය වෙනුවෙන් ප්‍රකට කරමින් අපරිමිත කැපකිරීමක් සිදු කර ඇති බවයි.
මෙම උත්සවය සඳහා වැඩ බලන අධ්‍යාපන ලේකම් ඒ. ජේ. එස්. එස්. එදිරිසූරිය, විවෘත විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තෘතීයක අධ්‍යාපන අධ්‍යයනාංශයේ මහාචාර්ය ජේ. ඩී. කරීම්ඩීන් (J. D. Careemdeen) යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අධ්‍යක්ෂවරු සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය






-
පාසල් දරුවන් මිලියන 1.4 ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32 ක්.

පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර 2025 වර්ෂය සඳහා මෙම වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇත. පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට හිමි වේ.
නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ අභිමතාර්ථයෙන් පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම මෙන් ම දේශීය ආහාර සංස්කෘතියක් ගොඩනැගීම මගින් රටට වැඩදායී පුද්ගලයකු බිහි කිරීම යන අරමුණු පෙරදැරි ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ළමුන් සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහන වාර්ෂික ව ක්‍රියාවට නංවනු ලබයි.
2006 වර්ෂයේ සිට ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම පාසල් පෝෂණ වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීමේ දී සලකා බැලෙන නිර්ණායක කිහිපයකි. ඉන් පළමු නිර්ණායකයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආහාර ලබා දීමට සුදුසු සේ සැලකේ. එහෙත් ආරම්භයේ සිට අනුමත කර ඇති පාසලක් නම් වර්තමානයේ ශිෂ්‍ය සංඛ්‍යාව 100ට වැඩි වුව ද එය නොසලකා සියලු සිසුන්ට ආහාර ලබා දීම සිදු කෙරේ. දෙවෙනි නිර්ණායකයේ දී සියලු ම පාසල්වල 1 සිට 5 දක්වා ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන් සුදුසු සේ සැලකේ. විශේෂ අධ්‍යාපන ඒකකවල හෝ විශේෂ අධ්‍යාපන පාසල්වල සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආහාර වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබීමට සුදුසු වන බව තෙවෙනි නිර්ණායකයෙන් කියවෙයි. සිව් වෙනි නිර්ණායකයෙන් කියවෙන්නේ, තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසු සිසුවියන් මෙන් ම අවශ්‍යතාව මත පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ද මෙම වැඩසටහනට අයත් වන බවයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද පෝෂණ තත්වය හා අවශ්‍යතාව මත මෙම ආහාර වැඩසටහනට ඇතුළත් කරගන්නා බව පස් වන නිර්ණායකයෙන් අදහස් කර ඇත.
පාසල ආරම්භ වී පළමු පැය තුළ එනම් උදෑසන 7.30 ත් 8.30 ත් අතර ආහාර ලබා දීම සිදු කරන අතර එක් සිසුවකුගේ දෛනික ආහාර වේලක් වෙනුවෙන් රු. 110/- ක මුදලක් වෙන් වී ඇත. වත්මන් කාර්යබහුල සමාජ ජීවන රටාවට අනුව නිවසේ දී බොහෝ විට අතපසු වන දරුවන්ගේ උදෑසන කෑම වේල, පාසල තුළ දී ඔවුන්ට ප්‍රමාණවත් පරිදි හා පෝෂණීය අයුරින් ලබා දීම දිවයිනේ ප්‍රසිද්ධ පාසල් ඇතුළු සියලු ම පාසල්වලට භේදයකින් තොර ව ක්‍රියාවට නැංවීමට 14/2025 හා 2025.04.01 දිනැති ව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව සිසු දරුවන්ට වඩාත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි ගිය වසරට සාපේක්ෂව මෙම වැඩසටහනට වෙන්කරන ලද මුදල දෙගුණයක් බවට පත් කෙරුණු අතර කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නියාමනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය ආරක්ෂීත මෙන්ම පෝෂදායී ආහාරවේලක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මාධ්‍ය ඒකකය





-
2026 වර්ෂයට අදාල සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වෙයි.

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය 2025.09.11 දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි. ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබා දීමට එකඟතාව පල කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,
“2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළා. එමඟින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වුණා වගේම රට පුරා සිසුන් මිලියන 4.6 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණා. රුපියල් බිලියන 5.17 කට වඩා වටිනා මෙම දායකත්වය, ලාබාලත ම සිසුවාගේ සිට ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යෙෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මඟ පෑදුවා. 2026 වසර සඳහාද එවැනි ම දායකත්වයක් ලබා දීම අගය කළ යුතු වෙනවා”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ චීනය 2026 නිල ඇඳුම් ප්‍රදානය පිළිබඳ කඩිනම් ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකා රජය සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිඹිබු කරන සාධකයක් බවයි.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මාධ්‍ය ඒකකය







-
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) – 2025

2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025.06.30 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලබයි.
එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 27/2025 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.09.26 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය.

-
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී.

මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් පිහිට වූ කමිටුව විසින් යෝජිත අධ්‍යාපන සභාව කඩිනමින් පිහිටුවීමේ අරමුණින් ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් අද දින (2025.09.10) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කැඳවූ අතර එහි දී ඔවුන්ට විවෘත ව හා නිදහස් ව අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි විය.
මෙම හමුවේ දී ගුරු වෘත්තීය සංගම් සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා අතර අධ්‍යාපන සභාව මුළුමනින් ම දේශපාලනීකරණයෙන් තොර ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් සහිත ප්‍රමිතිගත සංවිධානයක් විය යුතුය යන අදහසට සියලු දෙනාගේ ම එකඟත්වය පළ විය. පිහිටුවනු ලබන අධ්‍යාපන සභාවේ සාමාජිකයන්ගේ කාර්යභාරය හා වපසරිය, ආචාර ධර්ම පද්ධතිය මෙන් ම කාල රාමුව පිළිබඳ නිශ්චිත නිර්ණායක සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී මූලික ව ම ඉස්මතු කෙරුණු අතර එය මෙරට ප්‍රකට වෙනත් වෘත්තික සභාවන් මෙන් අදාළ වෘත්තිකයන්ගේ අදහස් හා යෝජනා මත ප්‍රධාන වශයෙන් පිහිටා ස්ථාපනය කළ යුතු බව ද අවධාරණය කෙරිණ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු අධ්‍යාපන අනුකාරක සභාවේ අනුකමිටුවක් වන අධ්‍යාපන සභාව පිහිටු වීමේ අනුකමිටුවේ සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද, ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය වෘත්තීය සංගම් වෘත්තීය සමිති රැසක් මෙම අවස්ථාවට එක් විය.
මාධ්‍ය ඒකකය










-
පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන් 500ක් වෙන් කරයි.

දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් 2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය මගින් මේ වනවිට අදාල ප්‍රතිපාදන පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත බැර කරමින් පවතින අතර පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රතිපාදන වෙන් කිරීම සිදුකෙරේ.
මෙහිදී පාසලකට ලැබෙන උපරිම මුදල රුපියල් මිලියනයක් වන අතර අවම මුදල රුපියල් 40,000 කි.
විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් ලබාදීමත්, ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට අවශය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙහි අරමුණයි.
මාධ්‍ය ඒකකය

-
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන ගැටලු පිළිබඳ එම ආයතනයේ කථිකාචාර්ය වෘත්තීය සංගමය හා අගමැතිවරිය අතර සාකච්ඡාවක් ඉසුරුපායේ දී

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කථිකාචාර් වෘත්තීය සංගමය සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර එම ආයතනයේ අධ්‍යයන හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (2025.09.03) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රුද්‍රිගූ මහතා ද එම අවස්ථාවට සහභාගි විය.
මෙහි දී අධ්‍යාපනයේ නව පරිවර්තනීය වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ හමුවේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට හිමි ස්ථානය හා ආයතනයේ ඉදිරි දිශානතිය පිළිබඳ අවධානය යොමු කරමින් වෘත්තීය සංගමයේ ආචාර්යවරුන් පවසා සිටියේ අධ්‍යයන හා වෘත්තීය යන දෙයංශයෙන් ම සිසුන්ට උසස් අධ්‍යාපන ප්‍රවේශ අවස්ථා සම්බන්ධයෙන් බාධා හා ගැටලු පවතින බවයි. මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, එම අංශ දෙකට ම ඒකාබද්ධ ව ඉදිරියට හා හැකි නව ප්‍රවේශයක මිණුම් දඬු සකස් කිරීමට අවධානය යොමු කරන බව කියා සිටියා ය. අමාත්‍යවරිය මෙහි දී එම ආචාර්යවරුන්ට වැඩිදුරටත් දන්වා සිටියේ නවීන ලෝකයට උචිත පරිදි ආයතනයේ ආධ්‍යාපනික හා වෘත්තීය පාඨමාලා විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
වෘත්තීය සංගමය විසින් ඉදිරිපත් කළ ආයතනයේ අධ්‍යයන/ අනධ්‍යයන සේවක දීමනා හා වැටුප් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය එම ගැටලු විසඳීම පිළිබඳ ව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව පැවසුවා ය.
මාධ්‍ය ඒකකය







-
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ගැටලු ඉසුරුපායේ දී අගමැතිවරිය හමුවට

අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර අමාත්‍යාංශ නිලධාරීහු ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
එහි දී එම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිය සුභසාධන හා අධ්‍යයන ගැටලු පිළිබඳ ව අමාත්‍යවරිය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදි. ජාතික වෘත්තීය තාක්ෂණ පුහුණුව ලබන සිසුන් වසර දෙක තුනක පුහුණුවෙන් අනතුරු ව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු එහි ද තුන් අවුරුදු පාඨමාලාවක් හැදෑරීමට සිදු වීම හා එම කාලය අඩු කරගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී ශිෂ්‍ය ක්‍රියාකාරීහු කරුණු ඉදිරිපත් කළහ.
එසේ ම නව ජාතික නිපුණතා සම්මත වීමත් සමග රූපලාවන්‍ය විද්‍යා පාඨමාලාවේ යම් විෂය කොටස් ඉවත් වීමෙන් එම පාඨමාලාවේ ගුණාත්මක භාවයේ යම් පහළ යාමක් පෙන්නුම් කරන බව ද ඔවුන් කියා සිටි අතර තත්වය සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය ඒ අවස්ථාවේ දී ම නිලධාරීන්ට පැවසී ය.
එසේ ම නව ජාතික නිපුණතා සම්මත වීමත් සමග රූපලාවන්‍ය විද්‍යා පාඨමාලාවේ යම් විෂය කොටස් ඉවත් වීමෙන් එම පාඨමාලාවේ ගුණාත්මක භාවයේ යම් පහළ යාමක් පෙන්නුම් කරන බව ද ඔවුන් කියා සිටි අතර තත්වය සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය ඒ අවස්ථාවේ දී ම නිලධාරීන්ට පැවසී ය.
මාධ්‍ය ඒකකය







-
“රටේ පරිවර්තනයේ වගකීම දේශපාලන නායකත්වයට මෙන්ම, රාජ්‍ය සේවයට නායකත්වය දෙන්නන්ට ද තිබෙනවා “

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්‍ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ අදහස් දැක්වුවේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත බඳවාගත් නව නිලධාරීන්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින්ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම උත්සවයේ දී නවක නිලධාරීන් 405 දෙනාට පත්වීම් ලිපි ලබාදෙන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ,
“ඉතිහාසය වෙනස් කළ හැකි මොහොතකයි ඔබ මේ පත්වීම් ලබන්නේ. අප බලාපොරොත්තු වන පරිවර්තන යුගය ගොඩනගා ගැනීමේ සිහිනයේ විශාල කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රය සතුය. රටට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. නමුත් එය රැකියාවක් පමණක් නොව, ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අත්‍යවශ්‍ය මෙහෙයුමක් බව ඔබ සැම තේරුම් ගත යුතුය,” යනුවෙනි.
තමන්ගේ කාර්යයයේ වගකීම නිවැරදිව ඉටුකළ හැකි හෘද සාක්ෂිය අවදිකරන තීරණ ගැනීමට හැකි සුවිශේෂී අධ්‍යාපන පරිපාලන සේවයක් අපේ රටට අවශ්‍ය වේ. අධ්‍යාපන කේෂ්ත්‍රෙය් මේ වන විට පවතින පැරණි ක්‍රමවේද ඉවත් කර පරිවර්තනීය යුගයක් කරා යාමට නම් ඔබ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඉන් නොනැවතී ඒවා විසඳීමට අවශ්‍ය කටයුතු කිරීමට වගබලා ගත යුතු බව වැඩි දුරටත් අවධාරනය කරන ලදි.
ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා ශක්තිමත් දේශපාලන අධිකාරියක් සේම ශක්තිමත් සෘජු තීරණ ගතහැකි ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යය බවත්, පුදගලික න්‍යායෙන් මිදී ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමම ප්‍රධාන අරමුණ කරගත යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාද මෙම උත්සවයට එක්ව සිටි අතර, නව නිලධාරීන්ට තමාගේ අනුග්‍රහය සැමවිටම ලැබෙන බවට සහතික කළේය. ඉදිරි දශකයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනස්කම් ගෙන ආ රටේ පරිවර්තන මඟ අලුත් නිලධාරීන්ගේ දක්ෂත්වය මත රඳා පවතී බවත්, ඔවුන්ගේ කැපවීමෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ශක්තිමත් රාජ්‍ය සේවය ගොඩනගා ගත හැකි බවත් අද උත්සවය තුළ විශේෂයෙන් අවධාරණය විය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන සේවා අංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය















-
සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ලංකා සභා කොළඹ දියෝකීසියයේ රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව (BEAC) සමඟ 2025.08.29 වන දින පැවැති සාකච්ඡාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
අඩු ආදායාම්ලාභී දරුවන් බලාපොරොත්තු විරහිත ව අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වළක්වන්න අපි මේ ප්‍රතිසංස්කරණ තුළින් උත්සහ කරනවා. සෞඛ්‍යමය හේතුන් වගේ විවිධාකාර හේතුන් නිසා අධ්‍යාපනයට ඇති ඉඩ ඇහිරී තිබෙනව නම් ඒ සියලු දරුවන්ට සහභාගි විය හැකි අන්‍තර්කරණ අධ්‍යාපනයක් (Inclusive Education) ලබා දෙන්න කටයුතු කරනවා. සමානාත්මතාව, ගුණාත්මකභාවය සහ සියලු දෙනාට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම තුළින් ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගන්න හැකි සෑම උත්සහයක් ම දරනවා.
මෙහිදී රැස් ව සිටි ලංකා සභා කොළඹ දියෝකීසියයේ රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව (BEAC) විසින් 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය යෝජනා හා අදහස් අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ අතර එම කමිටුවේ මුලසුන කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා විසින් දරනු ලැබී ය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය







-
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම…

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කෙරිණි. එසේ ම අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදි ම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කෙරිණි.
එසේ ම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් මෙහි දී එකඟත්වය පළ විය.







-
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ අනුමත අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරුවල පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පවතින අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 09, 10, 11 හා 13 යන දිනයන්හී දී පෙ.ව. 9.00 සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත නිලධාරීන්ට අදාළව සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන දිනයන් හා වේලාවන් වෙන් කර ඇති ආකාරය දැක්වෙන ලේඛනය හා සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමේදී රැගෙන ආ යුතු ලිපි ලේඛන පිළිබඳව සඳහන් කරමින් අදාළ නිලධාරීන් වෙත යොමු කල කැඳවීමේ ලිපියේ ආකෘතිය පහතින් බාගත කරන්න.
-
“දරුවා පාසලට භාර දීලා දෙමව්පියන් රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා..”

“මූල්‍යයමය පැත්තෙනුත් ඔවුන්ට විශාල වගකීමක් පෞද්ගලිකව දරන්න සිද්ධ වෙලා…”
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අගෝස්තු 26 දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ අදහස් දැක්වී ය.
“2026 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ව පළාත් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීමේ අවසාන අදියරටයි අපි මේ පැමිණ සිටින්නේ.
මීට මාස ගණනකට පෙර උතුරුමැද පළාතෙන් ආරම්භ කළ මෙම දැනුම්වත් කිරීමේ සාකච්ඡා මාලාව අනෙක් සෑම පළාතක ම පවත්වා ඌව පළාතෙන් තමා අවසන් වෙන්නෙ.
හැමෝම අවශ්‍යයි කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ ඇයි කියන කාරණය අපි වටහාගත යුතුයි. ඒ වගේ ම අවබෝධ කරගත යුතුයි. අපි ආණ්ඩුවට පත් වෙන්න පෙර සිට එනම් 2011, 2012 වර්ෂවල සිට ම ජාතික ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ආරම්භ කළ සංවාදයක් තිබෙනවා. අධ්‍යාපනය යනු කුමක් ද, අධ්‍යාපනය මොකට ද, සහ අධ්‍යාපන යාන්ත්‍රණය පවත්වාගෙන යාමේ රජයේ කාර්යභාරය කුමක් ද යන කරුණු සම්බන්ධයෙන් අප විශේෂයෙන් අවධානය යොමු කළා.
මුලින් ම මේක ආරම්භ වෙන්නේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතුයි කියන තැනින්. ඔබට මතක ඇති 2011 වර්ෂයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයක් තිබ්බා අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරන්න කියලා. එය ඒ සංඛ්‍යාවට වත් මුදලට වත් සීමා කළ යුතු නෑ. යුනෙස්කෝ සංවිධානය කියලා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන් සියලු ම රාජ්‍යයන් අවමයක් ලෙස 6%ක් දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කළ යුතුයි කියලා. අපි ඒක සටන් පාඨයක් හැටියට ගත්තේ ඒ 6% කියන කාරණය තුළින් නෙවෙයි, රජය අධ්‍යාපනයට වගකිව යුතුයි කියන කාරණය අවධාරණය කරන්න.
ඇයි අපි එහෙම කතා කළේ සහ ඇයි ඒ සංවාද ඇති වුණේ?….. අපි දකින විදිහට අධ්‍යාපනය කියන්නේ පෞද්ගලික ආයෝජනයක් හෝ පෞද්ගලික ප්‍රතිලාභ ලබන දෙයක් නෙවෙයි. මේක සමාජයක් පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය දෙයක්. සමාජයක් පවත්වාගෙන යෑමට වගේ ම සමාජයක් පරිවර්තනය කිරීමට, සමාජයක් සංවර්ධනය කිරීමට, අධ්‍යාපනය තුළින් සිදු වන කාර්යභාරය ඉතා ම වැදගත්. එතකොට ඒකෙ බර සහ වගකීම පෞද්ගලික වගකීමක් පමණක් වෙන්නෙ නෑ. එතන සමාජීය වගකීමකුත් තියෙනවා. සමාජයට වගකීමක් තියෙනවා යනු රජයට වගකීමක් තිබෙනවා යන්නයි.
අධ්‍යාපනයේ අරමුණු පෞද්ගලික තැනකට ගෙන ඒම වැලැක්විය යුතුයි. එය දරුවකුගෙ වගකීමක්, පවුලක වගකීමක් ලෙස ගතහොත්, එහි ප්‍රතිලාභ සමාජීය ප්‍රතිලාභ ලෙස නොව පෞද්ගලික ප්‍රතිලාභ ලෙස බලාපොරොත්තු ඇති ව ඔවුන් කටයුතු කරනවා. මෙම සංකල්පය හරහා සිද්ධ වෙන්නේ, පෞද්ගලික ව දරන්න තියෙන මූල්‍යමය වියදම වැඩි වෙන එක වගේ ම වගකීමත් වැඩි වීමයි.
අද ප්‍රායෝගික ව ගත්තොත් මොකක්ද සිද්ධ වෙන්නේ? ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර කාලයක් වෙන් කරනවද, කොච්චර වෙලාවක් යොමු කරනවද ?…. මූල්‍යමය කාරණය පැත්තකින් තියන්න. අපි ඉස්කෝලෙ යන කාලේ අපේ අම්මලත් අද අම්මලත් අතර විශාල වෙනසක් තියෙනවා. මම දන්නවා බොහෝ මව්වරුන් ඉන්නවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්න රැකියාව අතඅරිනවා. තාත්තලා දරුවන්ගේ විභාග කාලවල දී නිවාඩු අරගෙන ගෙදර ඉන්නවා.
එවිට කුමක් ද සිදු වන්නේ?….. දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලික ව මැදිහත් වීමට සිදු වෙලා තියෙනවා. දරුවා පාසලට භාර දීලා දෙමව්පියන්ට රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා. මූල්‍යයමය පැත්තෙනුත් ඔවුන්ට විශාල වගකීමක් පෞද්ගලිකව දරන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ හේතූන් නිසා අධ්‍යාපනය යනු තමන්ගේ පුද්ගල අභිවෘද්ධිය සඳහා පමණක් කරන දෙයක් ලෙස මිස සමාජ වගකීමක් ලෙස හෝ සමාජය තුළ අපේ කාර්යභාරය කුමක් ද, කියන කාරණය සඳහා අවධානය දෙන කරුණක් ලෙස සැලකීම එන්න එන්න ම අඩු වෙනවා.
එවිට අපි කොහොමද හොඳ පුරවැසියෙක් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කරන්නෙ…. සමාජයට අවශ්‍ය නායකත්වය කොහොමද අපි මේ අධ්‍යාපනයෙන් බිහි කරන්නෙ….. සමාජය තුළ තියෙන ඒ සමාජීය ගැටලුවලට මැදිහත් විය හැකි ඒ මනුස්සයා කොහොමද මේකෙන් බිහි කරන්නෙ කියන කාරණාව මතු වෙනවා. ඊටත් වඩා බරපතළ ම කරුණ වන්නේ අධ්‍යාපනය කියන කොටස තුළින් පුද්ගල අභිවෘද්ධිය පමණක් බලන අතිශයින් ම තරගකාරී, අතිශයින් ම විභාග කේන්ද්‍රීය, අතිශයින් ම ආත්මාර්ථකාමී තැනකට අපි අධ්‍යාපනය ඇදලා දාලා තියෙනවා.
අද සමාජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලන එක තුළ ඔය සියලු ම දේවල් ගැබ් වෙලා තියෙනවා. එතකොට මේක විශාල වැඩක්. අධ්‍යාපනය මොකක් වෙනුවෙන් ද, අධ්‍යාපනයේ වගකීම කවුද දැරිය යුත්තේ, අධ්‍යාපනයේ ප්‍රතිලාහ කෙසේ හිමි විය යුතු ද, ‘Outcomes’ මොනවද.. යනාදී මේ සියල්ල ම පුළුල් ලෙස සාකච්ඡා වෙමින්, විය යුතු පරිවර්තනයන් ගැන අපි කතා වෙනවා.
බොහෝ වෙලාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපි සියලු දෙනාගෙ ම අවධානය විෂය මාලාවට යනවා. නමුත් මම ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නෙ මේ පරිවර්තනය විෂය මාලා පරිවර්තනයක් විතරක් නෙවෙයි කියන එක හොඳින් අවබෝධ කරගන්න.
අපි ලෝකෙ තියෙන දක්ෂ ම විෂයමාලා සංවර්ධනය කරන නිලධාරීන් ගෙනැල්ලා හොඳ ම ‘module’ ටික හැදුවත් මොකක් වෙනුවෙන් ද ඒ කරන්නෙ කියන එක ගැන අපිට පැහැදිලි අදහසක් නැත්තන් මේ අධ්‍යාපන පද්ධතිය තුළ තියෙන විෂමතා, අසමානතා, අසාධාරණකම් පිළිබඳව අපි හරියට ආමන්ත්‍රණය කළෙ නැත්තන්, පද්ධතියේ තියෙන දුර්වලතා හරියට හඳුනාගෙන ඒවා නිවැරැදි කරන්න අපි හරියට ක්‍රියාත්මක වුණේ නැත්තන් මේ අපි උත්සාහ කරන සුපිරිම විෂය මාලාව උනත් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙන තැනට අපිට යන්න වෙන්නෙ නෑ.
ඒ නිසා අපි අධ්‍යාපනයේ පරිවර්තනයක් වෙනුවෙන් ඉදිරිපත් කරන සැලැස්ම කුලුනු 05ක් ඔස්සේ සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව මෙය එකකින් විතරක් අල්ලගෙන තියෙන දෙයක් නෙවෙයි. මෙය ක්‍රියාත්මක කරන්න යනකොට අභියෝග එනවා, විරෝධතා එනවා, සංවාද එනවා. ඒවා අත්‍යවශ්‍යයි.
අමාත්‍යාංශ ලේකම්තුමා කිව්ව විදිහට අපිට මේක අපේ අවසාන සැලැස්ම කියලා ඉදිරිපත් කරන්න බෑ. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය, ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් හොයමින් යන ගමනක්. ඒ ගමන්මග ඉවර විය යුතු තැන ගැන අපිට අදහසක් තියෙනවා. නමුත් මේක භූමියේ හරියට පැළ කරන්න නම් මේ ක්‍රියාවලිය තුළ හරියට ඉගෙන ගනිමින් අත්දැකීම් ලබමින් වෙනස් වෙන්නත් සූදානම් වෙන්න ඕන. එහෙම කරොත් විතරයි අපිට මේය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.”
මෙම අවස්ථාවට වැවිලි, ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් රණසිංහ, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ඌව පළාත් අධ්‍යාපන බලධාරීහු සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය


















-
“මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇතිකර ඇති විශමතාවය වෙනස් කිරීම අපේ ප්‍රධාන අරමුණක්”

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විදුහල්පති සහ ගුරු සංගම් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණි. මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් වෙත ඇති ගැටලු සහ නව ප්‍රතිසංස්කරණවල විෂය මොඩියුල සම්බන්ධව දීර්ඝව සාකච්ඡා විය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම ඇතුළු ආයතන අතර පැවතිය යුතු අනෙයෝන්‍ය සම්බන්ධතාවයේ වැදගත්කම සහ ඒ තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධව අවධාරණය කරන ලදී.
” මේ අධ්‍යාපන ක්‍රමය තුළින් පවතින විශමතාවය වෙනස් කිරිම අපට තිබෙන ප්‍රධාන අරමුණක්. ඒ අනුව දරුවන් පිරිසක් නොවෙයි සියලූම දරුවන්ට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පිළිගත හැකි තැනකට එන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් හදන එක අපේ මූලික ම පරමාර්ථයයි. ” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටින ලදී.
තව ද මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන විදුහල්පති සහ ගුරු සංගම්හි අදහස් හා යෝජනා ඉතාම වැදගත් වන බවත් ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් සියලු ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන අයතනයේ නිලධාරීන් ද විදුහල්පති සහ ගුරු සංගම් සාමාජිකයන් ද සම්බන්ධ විය.
මාධ්‍ය ඒකකය






-
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම 2019(2020) සීමිත පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනමින් බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය සඳහා වන නිවේදනයDownloadශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනමින් බඳවා ගැනීම සඳහා දෙවනවටයට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාමලේඛනයDownload -
ද්විභාෂා සමෝධානිත ඉගෙනුම් ප්‍රවේශය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව 2025/2026 සඳහා අයදුම්පත් කැඳවීම.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය එක් ව සංවිධානය කරන ද්වීභාෂා සමෝධානිත ඉගෙනුම් ප්‍රවේශය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 200 ක් ලබා දීමට සැලසුම් කර ඇත.
මේ සඳහා ද්වීභාෂා අධ්‍යාපන කාර්යයේ යෙදෙන ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, ද්වීභාෂා අධ්‍යාපන සම්පත් දායකයින්, SLEAS නිලධාරීන්, SLTES නිලධාරීන්, RESC පුහුණුකරුවන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පතට අදාළ අනෙකුත් තොරතුරු https://forms.gle/xfTjv3DdVbHmwzCE6 Google සබැඳිය හරහා ලබා ගත හැකිය.
නිසි ලෙසට සම්පූර්ණ නොකළ හා ආයතන ප්‍රධානියා සහතික නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
-
අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කළ යුතුයි…

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ එම පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අමතමින් පෙන්වාදෙන ලදි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැතිවිණි.
මෙහි දී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ…
“රජයේ අරමුණු සහ සැලැස්ම සමඟ මේ රට පරිවර්තනීය යුගයක් වෙත ගෙනයාම මේ රටේ මානව සම්පත ගොඩනැගීම අපේ ප්‍රමුඛතම කාර්‍යයක් බවයි. ඒ මානව සම්පත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ විශේෂ අවධානයක් යොමුකරන ක්ෂේත්‍ර දෙකක් ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන කේෂ්ත්‍ර හඳුන්වා දිය හැක. ඒ අනුව පටු ලෙස විෂය මාලාව වෙනස් කිරීම හෝ කෙටිකාලීනව වසරකින් හෝ දෙකකින් කරන කාර්යයක් ලෙස නොව සමාජීය පරිවර්තනීය යුගයකට ගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත බිහි කරන වැඩපිළිවෙළක් ලෙස මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස බැලිය යුතු බවයි.
එමෙන්ම මේ අවස්ථාවේ අපේ රටේ ඊළඟ පරපුර ගොඩනගන සහ රටේ දිශානතිය පිළිබඳව තීරණයේ ඇති බරපතලකම සහ වැදගත්කම අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ හොඳින් අවබෝධ කරගතයුතු බවත් මෙහි දී අපි කුමන කාර්යභාරයක්, කුමන නිලතලයක් දැරුවත් අපේ සියලුම වැඩකටයුතු සහ සැලසුම් වගේම අපේ සියලු අරමුණු මේ ප්‍රතිසංස්කරණයත් සමඟ සැලසුම් කරගෙන යෑම අත්‍යවශ්‍යය බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදි.
අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ සෑම දෙපාර්තමේන්තුවක්ම සහ සෑම අංශයක් වෙතම පැවරුණු වගකීම් අවධාරණය කරගැනීම අතිශය වැදගත් වන බවත්, තීරණ ගැනීමේ දී එම තීරණ කොතෙක් දුරට මේ වනවිට සිදුකරමින් පවතින අධ්‍යාපන පරිවර්තනය සමඟ ගැළපෙනවාද යන්න මත තීන්දු තීරණ ගත යුතු වන බවත් ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ එම පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අදාළ අංශවල අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.
මාධ්‍ය ඒකකය












-
ශ්‍රී ජයර්වර්ධනපුර සහ අපේක්ෂා රෝහල්වල රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුභසාධන සංගමය මගින් පස්වැනි වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන, 2025 අගෝස්තු 20 වන දින අධ්‍යාපන අමාත්‍යාංශ ඉසුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනෙවිරත්න මහතා, සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ශ්‍රී ජයවර්ධන පුර සහ අපේක්ෂා රෝහල් සඳහා අවශ්‍ය ලේ ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මාධ්‍ය ඒකකය.















-
2024- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට 2 වන වටයේ අභියාචනා මත පාසල් ලබා දීම.
2024- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට 2 වන වටයේ අභියාචනා යොමු කරන ලද සිසුන් සදහා ලැබී ඇති පාසල සදහා පහත සබැදිය වෙත පිවිසෙන්න.
-
කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ගැටලු රැසකට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විසඳුම්…

කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සීමාවාසික පුහුණුව ප්‍රමාදවීම වළක්වා ගැනීම, නේවාසිකාගාර කළමනාකරණය, සම්පත් හිඟය ආදී ගැටලු රැසක් පිළිබඳ විසඳුම් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා ඉදිරි සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාව පළ කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2025.08.12 වන දින කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමඟ කොළඹ 07, වෝඩ් පෙදෙස, උසස් අධ්‍යාපන අංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
සිසුන්ගේ සීමාවාසික පුහුණුව ප්‍රමාදයකින් තොරව සිදු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කඩිනම් ක්‍රියාමාර්ගවලට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මේ වන විට බොරැල්ල දේශීය වෛද්‍ය පීඨය සතුව පවතින නේවාසිකාගාර නිසි පරිදි කළමනාකරණය නොවීම, නේවාසිකාගාර නිසි පරිදි නඩත්තු නොකිරීම, නේවාසික ශිෂ්‍යයන් මුහුණ දෙන සුබසාධන ගැටලු, නේවාසිකගාර පහසුකම් ලබාදිය හැකි ව තිබිය දී කුලී නේවාසිකාගාර සඳහා විශාල මුදලක් වැය කිරීම ආදී ගැටලු ශිෂ්‍ය නියෝජිතයින් විසින් පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව අපිට හැකියාව ලැබුණා පීඨයේ පරිපාලනය සමඟ සාකච්ඡා කරන්නට සහ අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දෙන්නට. තවදුරටත් මේ පිළිබඳ සුවිශේෂ මැදිහත් වීමක් සිදු කරනමින් සිසුන්ගේ සුබසාධනය සහ අනෙකුත් ගැටලු ද ඉතා ඉක්මනින් විසඳීමට අපට හැකි වේවි.
ඉහළ යන ශිෂ්‍ය ලියාපදිංචියට සාපේක්ෂ ව භෞතික සහ මානව සම්පත් සංවර්ධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව සිසුන් විසින් මතු කරන ලද අතර රජයේ පාර්ශ්වයෙන් ඒ සඳහා ද කෙටි කාලයක් තුළ විසඳුම් ඉදිරිපත් කිරීමට අපිට හැකියාව ලැබේවි. විශේෂයෙන් ම විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, අධ්‍යයන ශාලා පහසුකම්, ආපන ශාලා පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන්නටත් කටයුතු කරනවා.
මීට අමතර ව විෂය නිර්දේශයන්හි ඇති ගැටලුකාරී තත්ත්වයන්, සායනික පුහුණුව සම්බන්ධ ඇති ගැටලු, සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්බන්ධ මතු ව තිබෙන ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, කොළඹ විශ්වවිද්‍යාලය සහ පීඨ නියෝජිතයන්, ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු සියලු ම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ පුළුල් සාකච්ඡාවක් ඇත්තට ම අවශ්‍ය යි. ඒ නිසා එම ගැටලුවලට විසඳුම් ඉදිරි කාලයේ දී ලබාදීමට අපට හැකියාව ලැබේවි. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්වූහ.





-
රැකියාවක් ඉලක්ක කරනවාට එහා ගිය පුලුල් අර්ථයකින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැක්මක් අවශ්‍යයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවාට වඩා එහා ගිය පුලුල් දැක්මක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් පසුගිය ජුනි 8 දින සිට 21 දින දක්වා ඉන්දියාවේ පැවති පුහුණු සැසිය නිමාකර මෙරටට පැමිණි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවා ය.
දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි නිලධාරීන් දෙදෙනෙකු බැගින් මෙම පුහුණුව සඳහා තෝරාගෙන පැවති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ආසියානු ඉගෙනුම් මාධ්‍ය කේන්ද්‍රය විසින් මෙම පුහුණුව පැවැත් විය. මෙතෙක් කිසිදු විදේශ පුහුණුවක් නොලත් දිවයින පුරා සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙම පුහුණුව සඳහා තොරා ගෙන තිබීම විශේෂත්වයකි.
ඉන්දියාවේදී ලද පුහුණුව අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් සහ එම පුහුණුව ලත් නිලධාරීන්ගෙන් ගුණාත්මක සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා යොදා ගැනීම මෙහි අරමුණ විය.
අධ්‍යාපන අමාත්‍යංශයේ විදේශ ආයතන සහ විදේශ කටයුතු ශාඛාව සංවිධානය කළ මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශාඛාව නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
මාධ්‍ය ඒකකය.









-
2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කෙරේ…

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස.(උ.පෙළ) විභාගය – 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුල අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලැබේ.
එසේම මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ කරනු නොලබන බව ද දන්වා සිටිමි.මාධ්‍ය ඒකකය.

-
ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න.

– අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධානතම අරමුණයි.
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වෙන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙන්ම එමගින් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 07 දින කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි.මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
සියලුම දරුවන්ට උසස් යැයි සම්මත රැකියාවල නිරත වීමට අවස්ථාව නොලැබෙන අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙහිදී ගුරු පුරප්පාඩු පියවා ගැනීමේ දී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමක්, හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය









-
2025 වර්ෂයේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භය

“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.07 වන බ්‍රහස්පතින්දා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.18 වන සඳුදා දින ආරම්භ වේ.
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වේ.

-
අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ඒකකය ශක්තිමත් කර විමර්ශන කඩිනම් කරන්න.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන ලෙසත්, පවතින විමර්ශන කඩිනම් කරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකෙහි ඊයේ (06) පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ සභාපතිනිය ලෙස මතු වූ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුව විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පත් කළ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තෙවන වර රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ පැවත් විණි.
එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමබන්ධයෙන් වන ගුරු පුහුණුව සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පාසල් වල පවතින අඩුපාඩු සකස් කිරීම, තාවකාලික ගොඩනැගිලි තුළ පවත්නාගෙන යන පාසල් ස්ථිර ස්ථානයක යළි පිහිටුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්හට වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය ලබා දීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම, ගුරු, විදුහල්පති සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් සහ ස්ථානමාරු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණ.
පත්වීම් ලබා දීමේදී මානුෂිය අවශ්‍යතා මෙන්ම පුරප්පාඩු පිළිබඳ සැලකිළිමත් වීම අවශ්‍ය බවත්, ස්ථාන මාරු කිරීම් සහ අනියුක්ත කිරීම් සිදු කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ ගැටලූ ඇති නොවන පරිදි සිදු කිරීම අවශ්‍ය බවත් අග්‍රාමිත්‍යතුමිය මෙහිදි පෙන්වා දුන්නාය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ෂනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශයේ පවතින පුරප්පාඩු සම්පුර්ණ කර කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදු කිරීමට කටයුතු කරන ලෙසද විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත් කරන ලද අනු කම්ටුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අදාල කමිටු සභිපතිවරු කරුණු ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය නලින් හේවගේ සහ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය














-
“සමස්ත රටේ ම සාධනීය වෙනසක් ඇතිකළ හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක්…”

“විෂය භාර අමාත්‍යවරයා හෝ ලේකම්වරයා මේ තරම් හොඳ අවබෝධයක් ඇතිව ඇවිත් සිදුකරන මෙවන් දැනුවත් කිරීම් ගැන පෙර අත්දැකීම් නෑ…”
“ඒ කැපවීම මහා සංඝයා වහන්සේ ලෙස අපි අගය කරනවා…”
– අමරපුර, රාමඤ්ඤ මහා නිකායික නා හිමිවරු අගමැතිනියට පවසයි –
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් සිදුවන වෙනස්කමක් නොව, එමඟින් සමස්ත රටේම සාධනීය වෙනසක් ඇතිකළ හැකි බැවින් ඒ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක් වන බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නා හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පැවසූහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අමරපුර හා රාමඤ්ඤ මහා නිකායික නායක හිමිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් අගෝස්තු 04 වැනි දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ජාතික වැදගත්කම, විෂය සැලැස්ම, ඇගයීම්කරණය සිදුවන ආකාරය සහ ප්‍රතිසංස්කරණයන්හි අභිමතාර්ථ පිළිබඳව පුළුල් විග්‍රහයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නායක හිමිවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී උන්වහන්සේලා විසින් මතු කළ ප්‍රශ්නවලට, උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරමින්ම එම ගැටලු පැහැදිලි කර දෙනු ලැබීය.
නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය , ජාතික අධ්‍යාපන කොමිසම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යන ආයතන වෙත පවතින සුවිශේෂී වගකීම් සහ එම ආයතන අතර පැවතිය යුතු මනා සහ සම්බන්ධතාවය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය.
මහා නිකායික හිමිවරුන් මෙහි දී පිරිවෙන් අධ්‍යාපනය, දහම්පාසල් අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව කරුණු පෙන්වා දුන් අතර, යෝජිත ප්‍රතිසංස්කරණ ඔස්සේ පාසල් තුළ දෙවන බස ඉගැන්වීම සඳහා වැඩි ඉඩක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළහ.
එමෙන්ම අමාත්‍යංශයක් භාර අමාත්‍යවරයකු ලෙස සහ අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිව අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් සිදුකරන මෙම පැහැදිලි කිරීම් සහ කැපකිරීම් ඇගයිය යුතුම බව පවසමින් මහා නිකායික ස්වාමීන්වහන්සේලා විසින් මෙහි දී ආශිර්වාද කළහ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරමින් මහා විහාර වංශික අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය සාහිත්‍යසූරී ගන්තුනේ අස්සජි මහ නා හිමියන්, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහා නායක අග්ග මහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි දර්ශනපති බලපිටියේ සිරිසීවලි නාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්‍ර මහා පණ්ඩිත මහචාර්ය අත්තන්ගනේ රතනපාල නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායෙ අනු නායක වලේබොඩ ගුණසිරි නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීවෙල මහින්ද නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති අත්තන්ගනේ සාසනරතන නාහිමියන් ඇතුළු මහා නායක හිමිවරුන් ඇතුළු දෙනිකායේ නායක ස්වාමීන්වහන්සේලා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා අතිරේක ලේකම් කමල් ආරියසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.











-
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග අද (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිලිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර මෙතෙක් විසඳා ගැනීමට කටයුතු නොකළ සිසුන්ගේ පානිය ජල ගැටලුව මසක් ඇතුළත විසඳීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිරන්තර අධික්ෂණය ඒ වෙනුවෙන් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
උසස් පෙළ සමත්වෙලා වසරකට සිසුන් 40,000ක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.
සාම්ප්‍රදායික උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවට අනාගත ජීවිතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්.
විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් වගේම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදිහට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.
විශ්වවිද්‍යාල දරුවන් විනයක් ඇතිව තමන්ට ලැබෙන නිදහස භුක්ති විඳින්න කටයුතු කිරීමත් වැදගත්, නමුත් ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීම සුදුසු නෑ.
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පීඨ, සහ පහසුකම් විවිධ අයුරින් වර්ධනය කරනවා අපි දකිනවා නමුත් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අදාල පීඨ වල පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරකෂාව සහ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් පියවර ගන්න අවශ්‍යයි.
විශ්වවිද්‍යාල සිසුන් සහ විශ්විද්‍යාල පරිපාලනය නිරන්තර සහයෝගයෙන් එකඟතාව මත කටයුතු කිරීමට වගබලාගත යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවකුලුන්දු සත්ගුණරාජා ඇතුළු පීඨාධිපතිවරුන්, අධ්‍යයන අනධ්‍යන සේවකයින් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙම අවස්ථාවට සහභාගී විය.
මාධ්‍ය ඒකකය











-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවේ.
සියලු දෙනා අවබෝධයෙන් ලබා දෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක්
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ අද (02)පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,
පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්. අපේ රටේ සියලුම දරුවන්ට සමාන අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය නම්, සියලු සම්පත් එක් කලාපයකට, එක් දිස්ත්‍රික්කයකට යෙදවිය නොහැකියි. එය සාධාරණ ලෙස බෙදා හැරිය යුතුයි.
එහිදී දුෂ්කර සහ ඌණ සම්පත් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ගුරු පුරප්පාඩුවලට විසදුම් ලබා දෙනවා වගේම සියලුම පාසල්වලට ඩිජිටල් පහසුකම්, ඉගෙනීමට පහසුකම් සහිත පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ජලය, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන අවකාශයන්, සෞන්දර්යය ඒකක ඇතුලු මේ සියල්ල පාසල්වල සංවර්ධනය කළ යුතුයි.
ඒ සදහා අපට හොඳ සැලැස්මක් තිබෙනවා. ඒ වගේම තක්සේරු කිරීම සහ ඇගයීමත් අතිශයින්ම වැදගත්. අපට අවශ්‍යයි වඩාත් ළමා හිතකාමී ඉගෙනුම් ක්‍රමයක්, ඉගැන්වීමේ ඉගෙනුම් පරිසරයක්. දරුවන්ට ලබා දෙමින් සමාජයට වගකියන පුරවැසියෙක් පාසලෙන් බිහි කරන්න.
ඒ වෙනුවෙන් අපි මේ මහජන විවාදය, මේ සාකච්ඡාව සිදු කරමින් යන්නේ. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ හරිනි අමරසූරියගේ හෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක්. අපි හැමෝටම ඒගැන අදහසක් තිබෙන්න ඕනේ. අපි හැමෝටම ඒකට සම්බන්ධ වෙන්න ඕන.
මේ සාකච්ඡාව දිගටම අවශ්‍යයි, මොකද අපි මේ ප්‍රතිසංස්කරණය අදියරෙන් අදියර ඉදිරියට සිදු කරනවා. සියල්ල සූදානම් කරගෙන මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න හිටියොත් අපට තවත් අවුරුදු 10ක් වත් බලා ඉන්න වෙනවා. ඒ නිසා 2026 දී 1 වසරට සහ 6 වසරට මේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා.
අපි නිරන්තරයෙන් ඔබේ ප්‍රතිපෝෂණය, ඔබේ අදහස් යෝජනා ඇහුම්කන් දෙමින්, නම්‍යශීලි වෙමින් සාධනීය ව සිදුකළ හැකි වෙනස් කම් සිදු කරමින් යනවා. හැබැයි අපිට මේ වෙනුවෙන් දැක්මක් තිබෙනවා.
අපේ රටේ සියලුම දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සියලු දෙනා එකඟයි. ඒ නිසා ඔබ ප්‍රතිසංස්කරණයේ එක කුළුණක් ගැන පමණක් සිතන්න එපා. මේක සමස්ත අධ්‍යාපන ව්‍යුහය වෙනුවෙන් වූ සම්පූර්ණ පැකේජයක්.
රේඛීය අමාත්‍යාංශයේ පාසල් , පළාත් පාසල් ලෙස බෙදිලා මේක කරන්න බැහැ. රටේ සියලු දරුවන් අපේ දරුවන්. ඉතින්, අපට වෙන් වෙලා වැඩ කරන්න බැහැ. අපි එකට වැඩ කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ අපට එකිනෙකා සමඟ ඉතා සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇතිව වැඩ කළ යුතු වෙනවා. දරුවන් වෙනුවෙන් අපි එකට වැඩ කරමු.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සංවාදයක් ඇති කරන්න. අපි මේ වනවිට ගුරු සංගම් සමඟ වෘත්තීයවේදීන් සමඟ විශ්වවිදයාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළා. ඉදිරියටත් සිදු කරනවා.
දෙමාපියන් ඇතුලු සමාජයේ සියළු අංශ මේ සමඟ සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම් වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.




















-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැනුවත් කරයි…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සියලූ විශ්වවිද්‍යාල නියෝජනය කරන ආචාර්යවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාව ජුලි 30 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීම සිදු කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සිදු කරන විෂයමාලා ප්‍රතිසංස්කරණ, ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම, මොඩියුල් සහ ක්‍රියාකාරකම් ඇතුළු සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සිය අදහස් පල කළේය.
එහිදී ඉදිරිපත් වූ නව යෝජනා සහ අදහස් පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලබා දෙන නව අදහස් පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.
මාධ්‍ය ඒකකය.













-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්න
අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයි.
මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දී සැළකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝසභාවේ ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කිරීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජුලි 31 පැවති සාකච්ඡාවකදී අනුනාහිමිවරුන් මේ බව පැවසූහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය.
මෙහිදී අනුශාසනා සිදු කළ අස්ගිරි මල්වතු උභය විහාරික අනුනාහිමිවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සාරධර්ම ඉගැන්වීම වැදගත් බවත්, වෘත්තීය වශයෙන් මෙන්ම මානූෂිය වශයෙන් දරුවන් තුළ වර්ධනය කළ යුතු අංශ පිලිබඳවත් අවධාරණය කළහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු වෙනස්කම් පිලිබඳවද මෙහිදී අදහස් පළ කළහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රි උපාලි නායක ස්වාමීන්වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රි සරනංනකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය
-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවත්, මේ ප්‍රතිසංස්කරණ පක්ෂයක හෝ කණ්ඩායමක කාර්යයක් නොව ජාතික වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාත් බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
2024 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වුණා වසරකට 20,000ක පිරිසක් පාසලෙන් ඉවත් වුණාම වුණේ මොකක්ද කියලා හොයා ගන්න නැහැ කියලා. ඒ වගේම පාසල් යන දරුවන්ගෙන් 80,000ක් හරියට පාසලට පැමිණ නැහැ. වසරකට පළමු වසරට ලක්ෂ තුනක් ඇතුලත් වෙනවා. ඒ දරුවන්ගෙන් විවිධ අවස්ථාවල පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙලා ලක්ෂ එක හමාරක් විතර වෘත්තීය අධ්‍යාපනයට හෝ පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවා. රජයේ විශ්වවිද්‍යාල වලට 40,000ක් පමණ ඇතුලත් වෙනවා. නමුත් ඉතිරි දරුවන්ට මොකද වෙන්නේ, ඔවුන්ගේ අනාගතය මොකක්ද කියලා කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සිදු කරන්න කටයුතු කර තිබෙනවා.
අපේ පාසල් අධ්‍යාපනය තුළ වසර 13ක් අධ්‍යාපනය ලබලා පාසලෙන් පිට වෙන දරුවන්ට පහසුවෙන් රැකියා ලෝකයට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා. පාසලකින් ලබන අධ්‍යාපනය ප්‍රමාණවත් වෙලා නෑ රැකියාවකට යන්න. මේක විශේෂයෙන්ම අපේ ගැහැණු දරුවන්ට වැඩි වශයෙන් බලපාලා තියෙනවා. අපේ ගැහැණු දරුවන් පාසලේ දි ඉතාමත්ම හොඳින් දක්ෂතා පෙන්නුම් කරලා තිබුණට රැකියා වෙළඳපොළට ගියාම පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ගේ සහභාගීත්වය 50%කට වඩා අඩුයි.
අධ්‍යාපන කුසලතාව තිබුණත් රැකියා ලෝකයට පිවිසෙන්න දරුවන්ට අසීරු වෙලා තියෙනවා. ඒකට අධ්‍යාපනය විතරක් නෙවෙයි වෙනත් කාරණා ගොඩක් තියෙනවා. ඒ වගේම අද අපි මුහුණ දෙන සමාජ ප්‍රශ්නත් ඒකට බලපානවා. නීති රීති හරියට අනුගමනය කරන තැන සිට සමස්ත සමාජ ක්‍රියාවලිය තුළ සහකම්පනය, ඉවසීම, සාමාන්‍ය දැනුමක් සහිත රැකියාවකට පිවිසිය හැකි සමාජයට වගකියන පිරිසක් අධ්‍යාපනය තුලින් බිහි කිරීමත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණකි
විශේෂයෙන්ම නවීන තාක්ෂණික ලෝකය තුළත්, ඉතාමත්ම සීඝ්‍රයෙන් වෙනස් වෙන සමාජය තුළත් ගැටෙන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන් දරුවෙක් අපි නිර්මාණය කරන්න ඕන. අපිට හිතන්න බැරි වේගයෙන් තොරතුරු අපිට ගලාගෙන එනවා. නමුත් තොරතුරු විශ්ලේෂණය කරලා එහි සත්‍ය අසත්‍යභාවය ගැන අදහසක් ගන්න හැකියාව තියෙන පුද්ගලයින් බවට දරුවන් පත්විය යුතුයි. ගවේෂණශීලී මනසක් තියෙන දරුවන් තමයි අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ.
විභාග ප්‍රතිඵල වලට පමණක් සීමා නොවන නව තෝරා ගැනීම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ අපි පළාත් මට්ටමින් සිදු කරන හත් වන සංවාදය, ඒ හැම සංවාදයකින්ම අපිට ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් වුණා. ප්‍රතිසංස්කරණ තව දියුණු කළ යුත්තේ කෙසේද කියලා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අමතරව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සංගම් සමගත් සාකච්ඡා කරමින් යනවා. ඒ සියලු සංවාද හරහා එන යෝජනා අපිට ඉතා වැදගත්. මේ එක දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක වගකීමක් නෙමෙයි. මේක ජාතික වැඩසටහනක්, එ නිසා ජාතික සංවාදයක් සිද්ධ විය යුතුයි. ඒ සංවාදයේ ඇතිවන යෝජනා, චෝදනා, අදහස් වලට ඇහුම්කන් දෙන්නත්, ඒ අනුව සාධනීය වෙනස්කම් සිදු කරන්නත් අපි සූදානම්.
සංවාද විතරක් කරලා මේක කරන්න බැහැ කොතනින් හරි පටන් ගන්න ඕන. ඒ නිසා ලබන වසරේ සිට 1වසරට සහ 6 වසරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ආරම්භ කරනවා. යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ මධ්‍යම පළාත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
මාධ්‍ය ඒකකය














-
වර්තමාන ලෝකය තුළ අපේ ස්වාමීන්වහන්සේලා වෙත පැවරිලා තියෙන ඒ සුවිශේෂී කාර්යය භාර්ය මැනවින් ඉෂ්ට කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් පිරිවෙන් අධ්‍යාපනය තුළ ගොඩ නගන්න වෙනවා.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පිරිවෙන් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත් එම ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගනිමින් ලෝකය තුළ ස්වාමීන් වහන්සේලා වෙත සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවී ඇති බව හා එම කාර්යය මැනවින් ඉටුකිරීමට අවශ්‍ය පිරිවෙන් අධ්‍යාපනයක් ගොඩනැගීම අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවාය.
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී ජුලි 30 දින පැවති 203 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයෙන් අනුමත නවක පරිවේණාචාර්ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.
මෙහිදී පරිවේණාචාර්යවරුන් 273 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“අද දවසේ අපේ ස්වාමීන්වහන්සේලාට බුද්ධාගම තුළ පැවරිලා තියෙන්නේ විශේෂ කාර්යය භාර්යයක්. සාම්ප්‍රදානුකූලව, චාරිත්‍රානුකූලව කරගෙන ආපු ඒ වැඩ කොටස, ඒ විශාල සේවය වගේම අද අපි ලෝකයටම විවෘත වෙලා තියෙනවා. බුදුදහමේ ඉගැන්වීම්, දර්ශනය හා එහි අන්තර්ගතය පිළිබඳ ලෝකයම අවධානයෙන් ඉන්නේ.
එනිසා අපේ ස්වාමීන්වහන්සේලා ලෝකය සමග සම්බන්ධ වෙන්න ඕනේ. ලෝකය තුළ අද සිදුවන වෙනස්වීම් හා සමාජ ආර්ථික තත්ත්වයන් තුළ බුදුදහමේ කාර්යභාර්ය වෙනදාටත් වඩා සුවිශේෂී සහ අත්‍යවශ්‍යයි.
ඒ සන්දර්භය තුළ අපි මොන වගේ ගුරු භවතුන් මොනවගේ පිරිවෙන් අධ්‍යාපනයක් ද නිර්මාණය කළ යුත්තේ කියන එක ගැන අපිට හොදින් සිතන්න වෙනවා සහ එය අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් රැක ගන්නා අතර අදට ගැලපෙන ඒ භික්ෂූන් වහන්සේලාට පැවරෙන විශේෂ කර්යාභාරයටත් අපි සූදානම් විය යුතුයි.
ඔබවහන්සේලා සියලුදෙනාට සුවිශේෂී අභියෝගයක් තියෙනවා. ඉගැන්වීම පමණක් නෙමෙයි අපේ බුදු දහම රකින ඒ සංඝ පරපුර නිර්මාණය කරන එක සුවිශේෂී කාර්යභාරයක්. බුදුදහම තුළ උගන්වන ඒ දර්ශනය තුළ පවතින ප්‍රායෝගික බව, විනය, ශික්ෂණය කියලා දෙන එක විතරක් නෙමෙයි ඒක අපේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නත් වෙනවා. එහිදී දැනුම සහ අධ්‍යාපනයට එහා ගිය වගකීමක් ඔබ වහන්සේලා සියලු දෙනාටම තියෙනවා.
මේ වෙනකොට විශාල කතාබහකට ලක් වෙන ඒ අපේ අධ්‍යාපන ක්‍රමය, පරිවර්තනයකට අපි භාජනය කරන්න සූදානම් වෙන මොහොතේ ඒක කොහොමද පිරිවෙන් අධ්‍යාපනයටත් ගලපා ගන්නේ කියන එක ගැන අපට යම් සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.
මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය








-
ප්‍රතිසංස්කරණය 2026 වසරේ ක්‍රියාතමක වෙන්නේ 1 වසර සහ 6 වසරට, මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙනවා.

ගුරුවරයා කතාකරන දරුවන් අහගෙන ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයට විනාඩි 50ක කාල පරිච්ඡේද දිහා බලන්න එපා,
මාලිමා රජය මොඩියුල් වලට පේටන්ට් ගන්න බලාපොරොත්තුවක් නැහැ, මෙිඩියුල් ක්‍රමය ලෝකයේ පවතින ක්රමවේදයක්අධ්යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
2026 වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙන බවත්, ගුරුවරයා කතාකරමින් දරුවන් අසා සිටින සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේ සිට විනාඩි 50 කාලපරිච්ඡේද විවේචනය නොකරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
පවතින අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් වැරදියි කියලා අපි කියන්නේ නැහැ, ඒ තුලින් විශිෂ්ඨයන් බිහි වුණා. නමුත් වසරකට දරුවන් විශාල ප්‍රමාණයක් අතර මගින් හැලෙනවා. ඒ අය ගැන කාගෙවත් අවධානයක නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙතෙක් පැවති විෂය මාලා සංවර්ධනයට එහා ගිය සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන්නේ.
2026 සිට මේ ක්‍රමය හදුන්වා දෙන්නේ 1 වසරට සහ 6 වසරට ඒ වෙනුවෙන් මුලික ප්‍රමුඛතාව ලබා දෙනවා. අදියරෙන් අදියර ඉදිරි ප්‍රතිසංස්කරණය සිදු කරනවා. අධ්‍යාපන කාර්යය තුළ තීරණාත්මක සාධකය ගුරුවරයායි. ගුරු හිඟය විසඳීමට නිවැරදිව ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ගුරු තුළනය නිසි පරිදි සිදු කළ යුතුයි.
සබරගමුව පළාතේ දරුවන් 10ට අඩු පාසල් තිබෙනවා. සමහර පාසල්වල එක ගුරුවරයෙකුට ළමයි ගණන 5යි. මේ තත්වය නිවැරදි විය යුතුයි. ජාතික සහ පලාත් පාසල් අතර ගුරු මාරුව පිලිබඳව මේ වනවිට අමාත්‍යංශය සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී ඒ පිලිබඳ තිරණයක් ගන්න කටයුතු කරනවා.
2024 අධ්‍යාපන අමාත්‍යංශය කළ සංගණනයකින් හෙළි වුණා ළමුන් 20,000ක් අධ්‍යාපනයෙන් අතරගම නතරවෙලා තිබෙනවා අදටත් ඒ දරුවන්ට සිද්ධ වුණු දේ ගැන කිසි තොරතුරක් නැහැ. ඒ වගෙිම 80,000ක් දරුවන් හරියට පාසලට පැමිණ නැහැ මේක ලොකු ගැටලුවක්,
මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය දුවන්නේ සුළු පිරිසකගේ කැපවීම මත පුද්ගලයෙක් මත අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න බැහැ, පද්ධතියක් විදිහට ශක්තිමත්ව පැවතිය යුතුයි.
මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙනවා, සාම්ප්‍රදායික ඉගෙන්වීම් ක්‍රියාවලියේ සිට මේ කාලය තීරණය කරන්න යන්න එපා. ගුරුවරු කතා කරන දරුවන් අහගෙන ඉන්න ක්‍රමය නෙමෙයි නව ප්‍රතිසංස්කරණයෙන් හදුන්වා දෙන්නේ. ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක්.
මොඩියුල් ක්‍රමය හදුන්වා දෙන්නේ මාලිමා රජය මොඩියුල්වලට පේටන්ට් ගන්න නෙමෙයි, ඒක ලෝකයේ භාවිත කරන ක්‍රම වේදයක්,
මෙතෙක් කලක් පැවති රජයන් අධ්‍යාපනය භාවිත කළේ තමන්ගේ නම ප්‍රචාරය කරගැනීමට බවත්, ඡන්දය ලබාගැනීමේ අරමුණින් දරුවන් පාසලට ඇතුලත් කිරීම හේතුවෙන් අධ්‍යාපනය තවත් අවුලට ගිය බවත් ඒ තත්වය මේ වනවිට වෙනස් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය,
මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,
සමහරු චෝදනා කරනවා අපි කිසියම් පිරිසකගේ උවමනාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා කියලා විශේෂඥයින්ගේ දැනුම යොදාගෙන නැහැ කියලා ඒක අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා. අපි කාගෙවත් උවමනාවට නෙමෙයි ජාතික අවශ්‍යතාවක් අනුවයි මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ ඔවුන් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කරන තොරතුරු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අතර කිසිදු සම්බනධයක් නැහැ කියන කාරණය අපි වගකීමෙන් කියනවා.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රීක් සංවර්ධන කමිටු සභාපති ශාන්ත පද්මකුමාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික අධ්‍යාපන, ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය








-
ශිෂ්ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම්.

මගේ ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න කටයුතු කරනවා…
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම් බවත්, තම ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹිමෙන් අනතුරුව අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය වේ බව පැවසීය.
” වත්මන් පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ලොව දකින දරුවන් අනාගත ගෝලීය අභියෝග ජයගැනීමට සුදානම් ද ? යන තේමාව යටතේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණ අතර පාර්ලිමේන්තු සභාවාරය අවසානයේ දරුවන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු කෙරිණ .
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩිහිටියන්ට වඩා හොදින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දරුවන් තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හොදින් විශ්ලේෂණය කරලා තිබුණා. එහි තිබෙන හොඳ නරක අභියෝග ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඔබ ඉතාමත්ම දක්ෂ විදියක් ඉදිරිපත් කළා. මම ඇත්තටම යෝජනා කරනවා ඔබත් මේ ගැන කතා කරන්න, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අමාත්‍යංශයේ ඉන්න නිලධාරින්ගේ හෝ අමාත්‍යවරු විතරක් හදන දෙයක් වෙන්න බෑ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ රටක ඇතිවෙන සංවාදයක් තුළ අපි එකතුවෙලා නිර්මාණය කරගත යුතු දෙයක් දෙයක්. ඒකට සෘජුවම මේ රටේ තරුණ පරපුර, සිසු සිසුවියන් සම්බන්ධ විය යුතුයි.ඒ නිසා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඔබ පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් තියලා හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබේ වයසේ අනිත් ශිෂ්‍යයා ශිෂ්‍යාවන්ගෙන් අදහස් යෝජන අරගෙන අපිට එවන්න ඒවා අපිට හරිම වැදගත්.
මට පාසලේ සිසුවියක් පරිසර හිතකාමී සැලසුම් ව්‍යාපෘතියක් භාරදුන්නා ඒ උත්සාහයන් ගොඩාක් වටිනවා.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මෙතන විවාදයේදි එක අමාත්‍යවරියක් කළ කතාවක් මට ඉතා තදින් දැනුණා. ඒ තමයි ළමා කාලයේ සුන්දරත්වය ගැන කථා කරන වැඩිහ්ටියන් අපේ ළමා කාලය විනාශ කරනවා කියලා. මම අද තීරණය කළා ආපසු මගේ ළමා කාලය ගැන මම දරුවන් ඉදිරියේ කතා කරන්නේ නැහැ ඒ වෙනුවට මේ රටේ දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම ඔබ සියලු දෙනා ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය කළමනාකරණය කළ ආකාරය, ඒ තුළ කතා කරපු විදිහ දැක්කම ඒක අහගෙන ඉන්නකොට හිතටත් පුදුම සතුටක් හරිම ආඩම්බරයක් දැනුනා රට ගැන විශ්වාසයක් ඇතිවුණා. අනාගත පරපුර දියුණුයි අනාගත පරිපුර හරිම දක්ෂයි කියලා.
විදුහල්පතිතුමා ඇතුළු ගුරු බවතුන්ටත්, දෙමව්පියන්ටත් මෙවැනි දරු පරපුරක් බිහිකිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
බෞද්ධ කටයුතු, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරතන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර, සුනිල් රජපක්ෂ, වෛද්‍ය ජනක, පළාත අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්, සීවලි මධ්‍ය විද්‍යාලයේ විදුල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත ඇතුළු විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ දූදරුවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය
















