පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන පාසල් පෝෂණ වැඩසටහනේ ප්රතිලාභ පාසල් දරුවන් වැඩි ප්‍රමාණයකට ලබා දීම සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වා ඇති අතර එම පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එක් වූවා ය. තවද එම විද්‍යාලය සඳහා කියවීමේ පොත් ප්‍රදානයක් ද සිදු වූ අතර දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම ද මෙහි දී සිදු විය.
දරුවන් පාසල් පැමිණීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම, සමබල ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙම පෝෂණ වැඩසටහනේ මූලික අරමුණු අතර වෙයි. ඒ අනුව ඇමරිකානු රජය මගින් අවස්ථා ගණනාවක දී ම සබලකරණය කරන ලද සහල්, වටානා පරිප්පු, රෝස සැමන් සහ ආහාර පිසීමට ගන්නා තෙල් ප්රදානය කර ඇත.
මෙම චාරිකාව සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් මෙන් ම සේව් ද චිල්රන්ඩ් ආයතනයේ (Save the Children) නිලධාරීහු ද එක් ව සිටියහ.