ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳ ව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්රමයක අද දරුවන් සිර වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත නිපුණතා මෙම කාලය තුළ විෂය මාලාවෙන් කෙමෙන් ක්ෂය වෙමින් යාම නිසා දරුවන්ගේ මොළයේ නිර්මාණාත්මක කොටස්වල වර්ධනය බාල වී එම විෂයන්ට පවතින අවධානය හීන වීමේ ප්‍රවණතාවක් පෙන්වන බැවින් දරුවන් රෝගීන් කරවන මෙම පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
එමෙන් ම ලොව වෙනත් කිසි දු දියුණු රටක උපාධියක් ලබා ගැනීමෙන් පසු අදාළ විෂයට උපාධිධාරීන් පුහුණු නොකරන අතර මෙරට උපාධිධාරී ගුරුවරුන් පුහුණු කිරීමට සිදු ව තිබීමෙන් ම මෙම අභියෝග ජයගැනීම උදෙසා පවත්නා අධ්‍යාපන ක්රමයෙහි පරිවර්තනීය වෙනසක අවශ්‍යතාව වඩාත් ඉස්මතු ව පෙනෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. පන්ති කාමරය තුළ මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැංවීමට සමාජීය වශයෙන් ද ආකල්පමය වෙනස්කම් ඇති කළ යුතු බවත් මෙවක සමාජ කතාබහට ලක් වී ඇති පාසල් පරිශ්‍රයන්හි පවත්නා මත්ද්‍රව්‍ය භාවිත ගැටලුව ජයගැනීමට අදාළ බොහෝ පියවර මේ වන විට ගෙන ඇති බවත් තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේ ය.
පන්ති කව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල අවශ්‍යතාව ඉස්මතු කළ අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් පෙන්වා දුන්නේ, විනාඩි 10ක කාලයකින් ආරම්භය ගෙන දැනට පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මක කෙරෙන සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමී ව ශරීර සුවතා සහ ක්‍රීඩා කටයුතු ද එක් කාල පරිච්ඡේදයක් හෝ අඛණ්ඩ ව නිතිපතා සිදු කරමින් එම ක්‍රියාකාරකම් අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය හා සමාන්තර ව පවත්වාගෙන යා යුතු බවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැත්වුණු “හොඳ පුරුදු” ගීත නාට්‍ය තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.