ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල, දරුවන්ට ප්‍රියමනාප ස්ථානයක් බවට පත් කිරීමට පසුගිය මාස පහක කාලය තුළ තමන් බොහෝ අභියෝගාත්මක කාර්යයන් දියත් කළ බවත් රටෙහි පවත්නා ක්‍රමය වෙනස් කළ හැකි වන්නේ පරිවර්තනීය අධ්‍යාපන වෙනසකින් බවත් එහි පළමු අදියරේ මූලික කාර්යයන් මේ වන විට ක්‍රියාත්මක ව පවතින බවත් අමාත්‍යවරයා පැවසී ය.
පවත්නා පරිපාලන ව්‍යුහය තුළ ආසන්නයේ දී ම මුහුණ දෙන අභියෝගය ලෙස මෙම වර්ෂාවසානයේ සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ බොහෝ දෙනකු එක වර විශ්‍රාම යෑම ගැන සඳහන් කළ අමාත්‍යවරයා, අධ්‍යාපන පරිපාලන සේවයේ ගොඩගැසී පවතින පුරප්පාඩු 622, මෙම විශ්‍රාම යෑමත් සමග 800 දක්වා ඉහළ යන බව පැවසී ය. එමෙන් ම පවත්නා නඩු කටයුතු සමථකරණය මගින් විදුහල්පති පුරප්පාඩු 5800ක් පිරවීමටත් උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවාගැනීමෙන් හා නියමිත විද්‍යාපීඨ කණ්ඩායම් දෙකක 6000කට ගුරු පත්වීම් ලබා දීමෙන් පාසල් පද්ධතියට ලබන වසරේ දී ගුරුවරුන් 35,000ක් එක් කර ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ වැඩිමනත් වශයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෑත දී පාසල් පද්ධතියට යොමු කෙරුණු උපාධිධාරීන් 22,000ට සහ ඌන සේවා උපාධිධාරීන්ට මෙන් ම පිළිගත් උපාධියක් සහිත ඕනෑ ම අයකුට අදාළ වයස් සීමාව තුළ පොදුවේ පෙනී සිටිය හැකි වන පරිදි දීපව්‍යාප්ත විභාගයක් පවත්වා එහි දී ලබා ගන්නා ඉහළ ලකුණු හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මගින් අයදුම්කරුගේ අභිමතය හා පුරප්පාඩු ද සැලකිල්ලට ගෙන, බැඳී වසර තුනක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සීමාවකට යටත් ව නව උපාධිධාරී ගුරුවරුන් බඳවාගන්න බවයි. එමගින් දුෂ්කර පළාත්වල ගුරු පුරප්පාඩු පුරවා දිගු කලක් එම පළාත්වල සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට සිය ගම්පළාත්වලට පැමිණීමට අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අදාළ බඳවාගැනීම් හරහා ගුරු උපදේශක පුරප්පාඩු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පුරප්පාඩු පූරණය කර, විශ්‍රාම යෑමේ රික්තය පියවා පද්ධතිය තුලනය කරන බව ද හෙතෙම මෙහි දී පැවසී ය.
පුද්ගල සම්පත් දායකත්වය සම්පූර්ණ කරගත් පසු ලබන වසරේ මුල් වාරය තුළ පාසල් පද්ධතියේ පරිපාලන ව්‍යුහය නිරවුල් වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා, ඉන් පසු අධ්‍යාපනය ‘ඩිජිටල්කරණය’ කිරීමේ හෙවත් ජාලගත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. ඒ අනුව කලාප 100 තුළ දැනට ක්‍රියාත්මක පරිගණක සම්පත් මධ්‍යස්ථාන 86ට අමතර ව 14ක් අලුතෙන් ස්ථාපිත කර එම මධ්‍යස්ථාන 100 හරහා තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරු පුහුණු පවත්වන බවත් රුපියල් මිලියන 1000ක් වැය කර පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මේ ක්‍රියාවලියට සමගාමී ව අධ්‍යාපන පරිපාලන වෙනස්කම් සිදු කෙරෙන අතර ඒ අනුව 100 සිට 120 දක්වා වැඩි කෙරෙන සෑම කලාපයක් තුළ ම දැනට පවත්නා කොට්ඨාස කාර්යාල වෙනුවට පිහිටුවනු ලබන පාසල් සංවර්ධන මණ්ඩල ද 312 සිට 550 දක්වා වැඩි කර පාසල් අධීක්ෂණය, ඒවායෙහි මූලික කාර්යභාරය බවට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙහි දී ගුරු විභාගයෙන් වැඩි ලකුණු ලබන පිරිස ගුරුවරුන් ලෙස බඳවාගෙන සෙසු උපාධිධාරීන් සෑම පාසලකට ම කාර්යාලයීය කටයුතු මෙහෙයවීම සඳහා යොමු කර ඔවුන් මගින් පාසල් සංවර්ධන මණ්ඩල හරහා වර්ෂාවසාන පන්ති කාමර තක්සේරුකරණ හා අධීක්ෂණ ක්‍රියාවලිය සිදු කරනු ලබන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අධ්‍යාපන පරිපාලන නිලධාරියකුගේ, ගුරු උපදේශකවරුන්ගේ සහාය ද ලබා දෙන අතර විදුහල්පතිවරයාත් මීට සම්බන්ධ වන බව සඳහන් කළේ ය.
මෙම පාසල් සංවර්ධන මණ්ඩල 550 යටතට පාසල් පොකුරු 1200ක් අවම වශයෙන් අයත් වන බවත් ඒ එක් පොකුරක් හෙවත් පර්ෂදයකට පාසල් 6-10 දක්වා අයත් වන බවත් ඉන් එකක් හෝ දෙකක් ප්රමුඛ පාසලක් බවට පත් වන අතර එය බොහෝ විට පොකුරේ ඇති ජාතික පාසල හා වෙනත් පහසුකම් සහිත යෝජිත පළාත් පාසලක් විය හැකි බවත් මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා, ජාතික පාසල් සංකල්පයෙහි පවතින සමාජීය අයෝග්‍යතාව ඉස්මතු කරමින් ඉදිරියේ දී ජාතික පාසල් සංකල්පය ඉවත් වී වඩාත් ඵලදායී හා සමානාත්මතාව සහිත ප්රමුඛ පාසල් සංකල්පය යටතට සියලු ජාතික පාසල් අන්තර්ග්‍රහණය වන බව ද කීවේ ය. යළි කිසි දු පළාත් පාසලක් ජාතික පාසලක් නොකර තිබෙන ජාතික පාසල් තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියේ දී අන්තර්ජාල පහසුකම් ලබා දෙන පාසල් 1000 යටතට ඒවා ප්රමුඛ පාසල් ලෙස ඇතුළත් කරන බවත් මේ වන විටත් අන්තර්ජාල පහසුකම් සහිත පාසල් ද ඇතුළු ව මේ ප්රමුඛ පාසල් ගණන 1200ක් පමණ වනු ඇති බවත් ඒවා හයෙන් ඉහළ හා ද්වීභාෂක මෙන් ම උසස් පෙළ විෂය ධාරා හතර ම සහිත පාසල් වන බවත් ඔහු පැවසී ය.
වඩාත් ප්‍රායෝගික වූ මේ ප්රමුඛ පාසල් සංකල්පය සමග ඊට අයත් වන පාසල් පර්ෂද තුළ සම්පත් හිඟ, ළමුන් අඩු කිසි දු පාසලක් හෝ කිසි දු දරුවකු ඉදිරියේ දී හුදකලා නොවන බවත් පර්ෂදය තුළ විසිරී පවත්නා සම්පත් සමූහය ඒකරාශී කර භාවිතයට ගැනෙන මනා කළමනාකරණයක් යටතේ උපරිම ඵලදායීභාවයකින් සම්පත් භාවිත කළ හැකි වන බවත් ‘ඇති හැකි පාසලක් විසින් නැති බැරි පාසලක් හෝ කිහිපයක් රැක බලා ගැනීමේ සංකල්පය’ ද මීට ම යා කෙරෙන බවත් පැවසූ අමාත්‍යවරයා මෙලෙස අධ්‍යාපන පද්ධතිය තුළ ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් සකසා ගැනීම, විප්ලවීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අඩිතාලම වනු ඇතැයි ද කී ය.
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ස්ථාපනය කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානයට (NERC) සමාන මධ්‍යස්ථාන 9ක් සියලු පළාත්වල ද පිහිටුවා, ඒ ඔස්සේ පාසල් පර්ෂදයන්හි දත්ත අධීක්ෂණය කරමින් සියලු පාසල් තොරතුරු එක ම ජාලයක් තුළ නියාමනය කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසෙන බව ද ඒ හරහා සිසුන්ගේ හා ගුරුවරුන්ගේ තොරතුරු වෙන වෙන ම දත්තගත කර ගුරු ස්ථානමාරුවීම් ආදිය ඒ ජාලය හරහා ඉදිරියේ දී වඩාත් විනිවිදභාවයකින් යුක්ත ව පහසුවෙන් සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
එමෙන් ම තාක්ෂණ විෂයන්ට මූලිකත්වය දෙන ස්ටෙම්/ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද මෙරට අධ්‍යාපනයට හඳුන්වා දීම සඳහා විද්වත් කමිටුවක සහය ලබා ගන්නා බවත් වෘත්තීය අධ්‍යාපනය ද සාමාන්‍ය අධ්‍යාපනය සමග ම ඒකාබද්ධ ව පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා පැවසී ය. 2023 වසරේ සිට පන්ති කාමරය තුළ ආකෘති සමග ඉගැන්වීමේ ක්‍රමවේදය ‘මොඩියුල් සිස්ටම්’ 1-6-10 ශ්‍රේණි සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් 200කින් අරඹන බවත් 2024 වර්ෂයේ දී එය දීපව්‍යාප්ත ව පූර්ණ ලෙස ක්‍රියාවට නංවා පෙළපොත වෙනුවට වැඩි නැඹුරුවක් ප්‍රායෝගික ආකෘති භාවිතයට ලබා දී වර්ෂාවසාන තක්සේරුකරණ ඇගයීම් ක්‍රියාවලියක් සිදු කර ගුරු සිසු පීඩනය වලක්වා ගුරුවරුන් කොළ පුරවමින් සිටීමේ යුගය නිමා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය. 2029 වර්ෂය වන විට අදියර 5කින් පමණ පසු ක්රමික ව විභාග බර අඩු වී පන්ති කාමර තක්සේරුකරණයට ම ප්‍රමුඛත්වය හිමි වන බවත් ආසියානු සංවර්ධන බැංකුවෙන් 2023 වර්ෂයේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1400ක් වශයෙන් ඉදිරි වසර හතර සඳහා ම අඛණ්ඩ ව ආධාර ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.
ඉදිරියේ දී නියමිත පරිදි 5 ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පවත්වා සාමාන්‍ය පෙළ විභාගය ද බොහෝ දුරට අප්‍රේල් අග හෝ මැයි මස මුල පැවැත්වීමෙන් නිවාඩු කාලය අවම කර විෂය නිර්දේශ ආවරණය කිරීමට ප්‍රමුඛත්වය දෙන බව ද ඔහු සඳහන් කළේ ය.
එසේ ම ලබන ජනවාරි 4 සිට උදෑසන 7.30 – 7.40 දක්වා විනාඩි 10ක කාලයක් සතිපතා සියලු පාසල්වල ‘සතිමත්බව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන’ ක්‍රියාවට නංවමින් සිසුන්ගේ සතිමත්භාවය දියුණු කර ගුණාත්මක අධ්‍යාපන ධාරිතාව ඉහළ නැංවීමට බෞද්ධ සංකල්ප ප්රමුඛ කරගත් සියලු ආගම් හා සහසම්බන්ධ වූ වැඩසටහනක් ආරම්භ කරන අතර එහි නියමු වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික හා සාරධර්ම ඒකකයේ අධීක්ෂණය මත සිදු කෙරෙන බවත් පැවසූ අමාත්‍යවරයා පාසල් ආක්‍රමණය කරමින් පවතින මත් ව්‍යසනය ජය ගනිමින් රටේ විනය පවත්වාගෙන යෑම සඳහා ද මෙවන් වැඩසටහන් දායක කරගත හැකි අතර මේ වනවිටත් කොළඹ කේන්ද්‍ර කර ඇරඹූ නියමු ව්‍යාපෘතියක් හරහා සෞඛ්‍ය, පොලිස්, අධ්‍යාපන ආදි සියලු අදාළ ක්ෂේත්‍ර හා ජාත්‍යන්තර සංවිධාන සමග ද අත්වැල්බැඳ ගනිමින් මත් ව්‍යසනය පිටු දැකීමේ පියවර ගෙන ඇති බවත් ජනවාරි සිට කලාප මට්ටමින් පිහිටුවන කමිටු හරහා ගුරු-දෙගුරු-විදුහල්පති හා සමාජ දැනුම්වත්කිරීම් හරහා පුළුල් මත් විරෝධී වැඩසටහනක් පාසල් තුළ ක්‍රියාවට නංවන බවත් පැවසී ය.
දරුවන්ගෙන් 50%කට දිවා ආහාරය හා නිල ඇඳුම් සපයමින් පෙළපොත් නිසි කලට ලබා දී අභ්‍යාස පොත් හා උපකරණ අවශ්‍යතා සහිත දරුවන්ට ලබා දෙමින් ඉදිරි වර්ෂයේ සිට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් සාධනීය මට්ටමකින් ක්‍රියාවට නංවන බවත් ඉදිරියේ දී වරින් වර අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියවර පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.