ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා
.ලංකාවේ අපේ දැනුම ඉතා ඉහලයි නමුත් එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ගැටලු තිබෙනවා
.අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි
– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත් රටවල් අපේ මිනිස් දැනුමින් ප්‍රයෝජන ගන්නා බවත් එම මානව සම්පත, මෙරට ආර්ථිකය හසුරවන පිරිසගේ අවධානයෙන් ගිලිහීම ඊට බෙහෙවින් බලපා ඇති බවත් කඩිනමින් ලොව පුරා විසිරී සිටින දැනුමින් සන්නද්ධ ශ්‍රී ලාංකික මානව සම්පත යළි කැඳවා, අපට මගහැරෙමින් යන හතර වෙනි කාර්මික විප්ලවය හඹා ගොස් දුරස් ව ඇති පරතරය පියවාගෙන රටේ අනාගතය ගොඩනැගිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ සඳහා මෙරට ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානය හා අනුග්‍රහය, දැනුම හා තාක්ෂණය කෙරෙහි යොමු විය යුතු ම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන අතර, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් මේ අනාගත අභියෝග ජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්‍රියාදාමයක නිරත විය යුතු ව පවතින බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.
පාසල් 1000ක් සඳහා මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
අමාත්‍යවරයා මේ තොරතුරු අනාවරණය කළේ, ජාතික මට්ටමින් පවත්වන ලද ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ‘ තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් සිසුන් සහ ගුරු භවතුන් උදෙසා ත්‍යාග සහ සහතික පත් ප්රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවය අවස්ථාවට එක් වෙමිනි.
මෙම තරගාවලිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය එක් ව සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලැබී ය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයීය නිලධාරීහු එක් ව සිටියහ.