– නැනෝ තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, බයෝ තාක්ෂණය වැනි විෂයධාරා ඔස්සේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වීය දැනුම සමග ඒකාබද්ධ කළ යුතුයි
– සිව් වන කාර්මික විප්ලවයේ පළමු පඩියට වත් ප්‍රවේශ වීමට නම් දරුවන්ගේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් අත්‍යවශ්‍යයි.
– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර අපේ දරුවන්ගේ දැනුම ලොව දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දැනුමට සමාන කළ යුතු බවත් මේ වන විට විදෙස්ගත ව ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලබා මෙරටට පැමිණෙන දරුවන්ට එම නව දැනුමට සමාන්තර රැකියා ක්ෂේත්රයක් මෙහි නොපැවතීමේ ගැටලුවක් උද්ගත ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මහාචාර්යවරුන්ගේ එකඟතාව ලබාගනිමින් උසස් අධ්‍යාපන විෂයමාලා විශ්වවිද්‍යාල මට්ටමින් නවීකරණය කෙරෙන අතර පාසල් මට්ටමින් ද්විතීයක අධ්‍යාපනය ද ඊට සරිලන සේ නව්‍යකරණය කර 13 වසරින් පසු සිසුන්ගේ සරසවි ප්රවේශයන් සිදු කළ යුතු බවත් මේ නව අධ්‍යාපන අභියෝගයන් හමුවේ මන්දගාමීත්වයක් පෙන්වන දරුවන් 9 ශ්‍රේණියෙන් පසු වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමු කළ යුතු බවත් පවසන අමාත්‍යවරයා කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස 10 වසරේ සිට උගන්වමින් උසස් අධ්‍යාපනයේ මෙන් ම ද්විතීයක අංශයේත් නව්‍යකරණයන් සිදු කර ප්‍රාථමික අංශයේත් අදාළ වෙනස්කම් සහිත ව මේ අංශ තුනේ ම නව අධ්‍යාපන පරිවර්තනය සිදු කළ යුතු බව පෙන්වා දෙයි. එසේ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන නොවුණහොත් සිව් වෙනි කාර්මික විප්ලවයේ අභියසට වත් ළඟා වීමට අපේ දරුවන්ට නොහැකි වන බව අමාත්‍යවරයා පැවසී ය.
ඒ මහතා මේ තොරතුරු සඳහන් කළේ, ලෝක ගුරු දිනයට සමගාමී ව මෙරට ගුරු දිනය සමරමින් ‘ගුරු ප්‍රතිභා ප්‍රභා 2022‘ නමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ජාතික උත්සවය අමතමිනි.
මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ කරුණු දක්වමින් පසුගිය පාසල් නොපැවැත්වූ සමයේ 1, 2, 3… වැනි ශ්‍රේණිවල දරුවන්ගේ සාක්ෂරතාව සම්බන්ධයෙන් පැවැත්වූ සමීක්ෂණ වාර්තා අනුව හඳුනාගෙන ඇති පසුබෑම මගහරවා ගැනීමටත් ඉදිරියේ දී කඩිනම් වැඩසටහනක් ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පසුගිය මාස දෙකහමාරක කාලය තුළ අධ්‍යාපන සංවර්ධන කටයුතු සිදු කරනවාට වඩා කලක් තිස්සේ කල් තැබෙමින් අඛණ්බ ව පැවත ආ අධ්‍යාපන ගුරු පරිපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ලබා දීමට තමාට සිදු ව ඇතැයි ද, ඒ මහතා පැවසී ය.
අභියෝගාත්මක තීරණයක් ගනිමින් ඉදිරියේ දී ලකුණු නියාමන කිසි දු පාසලකට 1 සිට 13 දක්වා 5 ශ්‍රේණි ශිෂ්‍යත්වයෙන් මිස ළමුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එසේ නොකළ හොත් 5 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට අසාධාරණයක් වීම නොවැලැක්විය හැකි බවත් පන්තියක සිසුන් සංඛ්‍යාව 60 සීමාව ද ඉක්මවා ගොස් ගුරුවරයාට පවා පන්තියේ සිටීමට නොහැකි වන පරිදි උද්ගත වී ඇති අයෝග්‍ය ඉගෙනුම් වාතාවරණය වෙනස් කළ නොහැකි වනු ඇති බවත් ඒ මහතා පවසයි. එසේ ම මේ බොහෝ ගැටලු උත්පන්න කරවන ජාතික පාසල් සංකල්පය ඉවත් කර ඒ වෙනුවට ප්රමුඛ පාසල් සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය. පාසල් පරිශ්‍රයේ අධීක්ෂණ හා අධ්‍යාපන සංවර්ධන කටයුතු කිරීමට විදුහල්පතිවරුන්ට අවකාශ පුළුල් කරමින් ඉදිරියේ දී උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පවත්වනු ලබන ගුරු විභාගයෙන් ප්‍රමණවත් ලකුණු ලබානොගන්නා පිරිස කාර්යාලයීය කටයුතු සිදු කිරීමේ නිලධාරීන් වශයෙන් බඳවාගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම ගුරු දින උත්සවයේ දී 1990 දශකය තෙක් ඈතට දිවෙන ගුරු වෘත්තීය සංගම් ඉතිහාසය සිහිපත් කළ අමාත්‍යවරයා, මෙකල මෙන් විධිමත් නිශ්චිත ක්‍රියාපටිපාටි නොපැවති එවක ඉතා දුෂ්කර දඬුවම් මාරු පවා ලබමින් වුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ දී ගුරුවරයා පන්තියට ගොස් පැමිණීමේ අත්සන නොතබා දරුවන්ට ඉගැන්වීම් කටයුතු නොකඩවා සිදු කළ බව පැවසී ය.
ලබන වසරේ දී 1 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂා භාවිතය ප්‍රායෝගික ව භාවිත කිරීම අරඹන අතර නව කලාප කාර්යාල ආදිය අවශ්‍ය පරිදි ස්ථාපිත කරමින් නව නිලධාරීන් බඳවා ගනිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ පරිපාලන කටයුතු යථාවත් කරමින් අධ්‍යාපන ප්රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් සිදු කිරීමේ අභියෝගයට අධ්‍යාපන අමාත්‍යාංශය අත ගසා ඇති අතර සියලු දෙනාගේ සහාය ද ඊට අවශ්‍ය බව සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී සියලු පළාත් නියෝජනය කරමින් එක් පළාතකින් ගුරුවරුන් 10ක් හා විදුහල්පතිවරුන් 5ක් වන පරිදි 135 දෙනකුට ගුරු උපහාර පිදුණු අතර ජනාධිපතිතුමන් එවා තිබූ සුබපැතුම් පණිවිඩය සුරේෂ් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයාත් අගමැතිතුමාගේ සුබපැතුම් පණිවිඩය විජිත බේරුගොඩ රාජ්‍ය අමාත්‍යවරයාත් සභාවට ඉදිරිපත් කළ අතර, අරවින්ද කුමාර් රාජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා හා පාසල් දරු දැරියෝ මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.