පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව පැවසූයේ 2021/07/07වන දින ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම නිසා මෙම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එළඹෙන ලදී. ඒ අනුව විදුහල්පතිවරු සහාය කාර්යය මණ්ඩලයක් පත්කොට ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සියලු ම ගුරුවරුන්ට ප්රමුඛ කණ්ඩායමක් ලෙස සලකා, පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි, ප්‍රථම පියවර වශයෙන් එන්නත්කරණය සිදු කෙරේ. එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය. මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද සහභාගී විය.