බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය අද සිට ආරම්භ කෙරිණි. නැගෙනහිර පතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් සහ වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පළාත්වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව අද විවෘත කරන ලදී .
ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ පැමිණීම සම්බන්ධයෙන් පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව, ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටි පාසල්වල ගුරු- සිසු පැමිණීම ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව සෑම පළාතකම හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයකි. බස්නාහිර හැර අද දින පාසල් පැවැත්වූ පලාත් අටෙහි සිසුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 51% ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 88% කි. සිසුන්ගේ පැමිණීමෙහි ඉහළ ම ප්‍රතිශතයක් පවතින්නේ ඌව පළාතේ වන අතර එය 71% කි . ගුරුවරුන්ගේ පැමිණීමෙහි ඉහළම ප්‍රතිශතය සියයට 95 ක් වන අතර,එය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.
covid නව සාමාන්‍ය තත්ත්වය හමුවේ පවතින අභියෝගය වගකීම් සහගත ව භාර ගනිමින්, දරුවන් පාසලට කැඳවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දායක වන සෞඛ්‍ය,ප්‍රවාහන ,ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්රවල නිලධාරීන්ටත්, කාර්ය මණ්ඩලවලටත් අධ්‍යාපන ලේකම්වරයා තම කෘතවේදිත්වය පළ කර සිටී . එමෙන් ම , ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රියාවට නංවන්නට සහාය වන පළාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත ද විශේෂයෙන් ම, මේ පිළිබඳ නිරන්තර වාර්තාකරණයේ යෙදෙමින් ජනතාව දැනුවත් කරන සියලු මාධ්‍ය ආයතන වෙත ද අධ්‍යාපන ලේකම්වරයා ස්තූතිය පළ කළේ ය .
බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ඉදිරියේ දී තීරණය කිරීමට සෙසු පළාත්වල තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් ඩී ධර්මසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එක් එක් පළාත් වල සිසු ගුරු පැමිණීම සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මේ සමග යොමු කර ඇත .