අධ්‍යාපනයේ සමාන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් වන ජාතික අධ්‍යාපන මෙහෙවර යථාර්ථවත් කිරීමේ සුවිශේෂ පියවරක් අද (17) අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව, ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් ගමන අත්හිටුවන්නට සූදානම්ව සිටි ගිනිගත්හේන ප්‍රදේශයේ සිසුදරුවන් තිදෙනෙකු වෙත ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මූල්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ හමුවක් පවත්වන ලදී.
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන නිහාරා සෙව්වන්දි, ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජයනි කෞෂල්‍යා සහ එම විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරුවන් කුමාර යන සිසුදරුවන් සහ ඔවුන්ගේ මව වන නිරෝෂා ප්‍රියංගනී මහත්මිය ද, අදාළ දරුවන් අධ්‍යාපනය හදාරන පාසල්වල විදුහල්පතිවරුන් ද සමඟ අද පැවති මෙම හමුවේ දී දරුවන් වෙනුවෙන් මාසයක් පතා අධ්‍යාපන වියදම් ලබාදීමට එකඟත්වය පළ කරන ලදී.
මෙම කටයුත්ත සංකේතාත්මක ව සනිටුහන් කරමින් එක් සිසුදරුවෙකුට රුපියල් 10,000ක් බැගින් වන මූල්‍ය ප්‍රදානයක් ද අද දින එම දරුවන් වෙත පිරිනැමුණු අතර, ඉදිරියේ දී දරුවන් තිදෙනාගේ ම අධ්‍යාපන වියදම් දැරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය. සිසුදරුවන් වෙනුවෙන් මෙම මූල්‍ය පරිත්‍යාග ලබාදීමට එම්. බී.බී සිල්වා මහතා සිය පෞද්ගලික දායකත්වය අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ.
මවගේ ඇස් නොපෙනීම සහ පවුලේ දිගින් දිගටම පවත්නා අඟහිඟකම් හමුවේ මෙම දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කිරීමට සිදුව ඇති බවට සහ ඒ නිසා ඔවුන් පත්ව ඇති අසරණභාවය සම්බන්ධ ව පසුගිය දා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලද සංවේදී ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමුකරමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.
මේ අවස්ථාවට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා, මධ්‍යම පළාත් අධ්යක්ෂ තිලක් රත්නායක මහතා සහ අදාළ දරුවන් නියෝජනය කරන පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත්, නියෝජ්‍ය විදුහල්පති ගයානි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.