දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අධ්‍යාපන අමාත්‍ය හා පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ දී අද පැවැත්විණි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කාලීන ප්රවණතා පිළිබඳ සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ මෑත දී ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය කඩිනම් අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් මූලික පියවර ගෙන තිබෙන බවයි. යුනෙස්කෝ ආයතනයේ උපදෙස්වලට ද අනුකූල ව එම අධ්‍යාපන පරිවර්තන ක්රියාදාමයේ අඩිතාලම වූ අධ්‍යාපනයේ පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමේ කාර්යන් මෙවක ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවේ කියා සිටියේ ය.
එමෙන් ම කාලීන වැදගත්කමකින් යුත් විෂයක් වූ දේශගුණික විපර්යාස පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීම සඳහා ඒ සම්බන්ධ විෂයක් පාසල් විෂයමාලාවට එක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.