– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
අද බොහෝ දෙමාපියන්ට සිය වැටුපෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අමතර පන්ති සඳහා වෙන් කිරීමට සිදු වීමේ අසාමාන්‍ය ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ප්‍රවාහන වෑන් රථ සඳහා ද අධික වියදමක් දැරීමට සිදු ව තිබීම නිසා දෙමාපියන්ගේ වියදම තවත් ඉහළ ගොස් ඇතැයි ද මේ සියලු අධ්‍යාපනික ආර්ථික අභියෝග ජයගැනීමට පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ සඳහා කඩිනම් අධ්‍යාපන පරිවර්තනයක් සිදු කළ යුතු ව පවතින බවත් නවතම යුනෙස්කෝ ප්රකාශනයේ අධ්‍යාපනය සඳහා වූ නව සමාජ ගිවිසුම ප්‍රකාර ව ඊළඟ වසර හත ඇතුළත දෙගුණයක වේගයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවූ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයෙහි නියැළී මෙම ගුණාත්මක අධ්‍යාපන වෙනස අප අත්පත් කරගත යුතු ව පවතින බවත් එමගින් 2024 – 2030 දක්වා වූ ගෝලීය තිරසර සංවර්ධන අරමුණුවල 4 වෙනි ඉලක්කය වන, සැමට සම අධ්‍යාපන අවස්ථා හිමි වන ගුණාත්මක අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සැසි වාරයක දී අදහස් දක්වමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වැටුප් විෂමතා, ගුරු- විදුහල්පති ගැටලු වැනි වැඩිහිටි පරපුරේ අයිතිවාසිකම් වෙත ම අවධානය යොමු කරමින් සිටියහොත් හතලිස් දෙලක්ෂය ඉක්මවූ සිසුන්ගේ අයිතිවාසිකම් මගහැරී රටේ අනාගතය අඳුරු වීම වැලැක්වීම අපහසු වන බවයි. පන්තිකාමරය තුළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳ කිසිවකු කතා නොකරන බවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් 6000 ඉක්මවූ සිසුන් සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් ව තිබීමේ වගකීම භාර ගැනීමට කිසිවකුත් නැති බවත් පැවසූ අමාත්‍යවරයා අය-වැය හරහා බිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරමින් ගුණාත්මක බවින් ඉහළ නව අධ්‍යාපන පරිවර්තනය වේගවත් කරන බව ද පැවසී ය.
ඒ අනුව ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඉසඩ්ස්කෝ අගය වැඩි ම ගුරු අපේක්ෂකයන් 2024 වසරේ සිට බඳවාගෙන ඉගැන්වීමට අපේක්ෂිත විෂය ධාරාව යටතේ ම පුහුණුව ලබා දී අවසන පුහුණු උපාධිධාරී ගුරුවරයකු පන්ති කාමරයට යැවීමට කටයුතු සම්පාදනය වන බවත් අධ්‍යාපනයේ කොඳුනාරටිය බඳු විෂයමාලා සංවර්ධනය කිරීම, ගුරුවරුන් සේවයේ යෙදී සිටියදී පුහුණු කිරීම, ගැටලු විසඳා විදුහල්පති පුරප්පාඩු හා 45%ක් ව පවතින අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීම, තවදුරටත් පවතින ගුරු උපදේශක වැනි සේවාවල වැටුප් විෂමතා විසඳීම, විකල්ප පෝෂණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පෙළපොත් මුද්‍රණයට මුදල් වෙන් කර නිසි කලට ලබා දීම, රජයේ ප්‍රතිපාදනවලින් බැහැර ව ආර්ථික දුෂ්කරතා සහිත 30%ක දරුවන් ප්‍රමාණයකට අභ්‍යාස පොත්, උපකරණ ලබාදීම මෙන් ම මත් උවදුර වැනි විෂමාචාරවලින් දරුවන් වලක්වාගැනීමට ප්‍රජා පොලිස් සහාය ගැනීම වැනි අදාළ උපායමාර්ග ගනිමින් දෙමාපිය පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ සියලු පරිවර්තනීය සංවර්ධන කටයුතු හේතුවෙන් ඉදිරියේ දී 1 – 5 වාර විභාග නැති, වර්ෂාවසාන එක් විභාගයක් පමණක් ඇති, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ක්රමානුකූල ව පන්තිකාමර ඇගයුම් දක්වා විතැන් වූ වෘතිතීයාභිමුඛ එහෙත් ප්‍රීතිමත් ඉගෙනුම් පරිසරයක් තුළ ඉබේ ම පෙළපොතේ බර අඩු වන ක්රමවේදයක සිසුන්ට අධ්‍යාපනය ලද හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අධ්‍යාපන අහිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙරට ආර්ථික ස්ථායීතාව ඉතා වැදගත් බවත් කෘෂිකාර්මික රටක් වශයෙන් හැඳින්වුව ද කෘෂිකාර්මික වශයෙන් අප තවමත් අසමත් රාජ්‍යයක් බවත් ඉන් මිදීම සඳහා පාර්ලිමේන්තුවේ 225 දෙනාට චෝදනා කරමින් නොසිට ආචාර්ය උපාධි පවා හිමි නිලධාරීන් එක් ව ආර්ථික විද්‍යාඥයන්ගේ සහාය අධ්‍යාපනඥයන්ට, විද්‍යාඥයන්ට ලබා දී එක් ව රට ගොඩගත යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. ඒ සඳහා ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු අධ්‍යාපනඥයන් සූදානමින් සිටින බවත් හෙතෙම පැවසී ය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දියුණු රටවල මෙන් මේ සමාජ ආර්ථික සංවර්ධන මට්ටම ළඟා කර ගැනීමට ‘ස්ටෙම් අධ්‍යාපනය’ වැනි අධ්‍යාපන සංකල්ප භාවිත කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළේ ය.