– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වාර්ෂික ජාතික ගණිත සරණිය තරගයෙන් ජයගත් සිසු සිසුවියන් සඳහා පැවති ත්‍යාග සහ සම්මාන ප්රදානෝත්සවයේදී ය. මෙම උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත සම්මේලනය මෙය සංවිධානය කරන ලදී. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල විශ්ව දැනුම ලැබිය හැකි තෝතැන්නක් වන පරිදි පාඨමාලා තාක්ෂණිකව පූර්ණ නව්‍යකරණයකට හා යාවත්කාලීන කිරීමකට ලක් කළ යුතු බව සඳහන් කළේ ය. පෙරපාසලේ සිට ම පාසල් පන්ති කාමරය හරහා මේ පරිවර්තනීය වෙනස සිදු විය යුතු බවත් පෙරපාසලේ දී කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට පන්ති කාමරයේ දී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමි වන බවත් හෙතෙම පැවසී ය. විශ්වවිද්‍යාලයේ දී විශ්ව දැනුම හා මුසු වී සමාජයට ප්‍රතිඵල දායක නිර්මාණ බිහි කිරීමට හැකි වන්නේ එවන් ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයක නියැලීම මත බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙරට අතීත දැනුම තුළ ද මෙම නිර්මාණශීලී තාක්ෂිණික දැනුම ප්‍රායෝගික ව භාවිතයට ගනිමින් රුවන්වැලිසෑය වැනි නිර්මාණ බිහි කර ඇති බවත් මේ සියල්ල නිරීක්ෂණ, ගවේෂණ හරහා මෙරට අධ්‍යාපන ක්‍රමයට අන්තර්ගත කළ යුතු බවත් අමාත්‍යවරයා සිහිපත් කළේ ය.
මෙරට බොහෝ උපාධි ලැබීමෙන් පසු වෘත්තියක නියැලීම සඳහා තවත් පුහුණුවක් ලබා දිය යුතු ව ඇති අතර උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිට වන විට ම වෘත්තියක නියැලීමට හැකි වන පරිදි වෘත්තීය නිපුණතාවලින් සමන්විත උපාධි පාඨමාලා කරා අපේ අධ්‍යාපනය යොමු නොවන තුරු උද්ඝෝෂණ නොවැලැක්විය හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා දියුණු රටවල ජීවවිද්‍යාව සමග දරුවන්ට මනස සමබර කරවීමට ඉවහල් වන සංගීතය විෂයක් ලෙස හැදෑරීමේ නිදහස පවතින අතර සංගීතය ඉගෙනීමේ දී ගණිත විෂය අත්‍යවශ්‍ය වන බවත් පෙන්වා දුන්නේ ය.
නව තාක්ණය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් මීට දශක දෙකකට පෙර වසර 10ක් ලෙසින් පැවති දැනුම දෙගුණ වීමේ කාලය අද වසර දෙකක් දක්වා ශීඝ්‍රයෙන් අඩු වී තිබෙන අතර අනිකුත් බොහෝ විෂයන්හි රඳාපැවැත්ම තීරණය කෙරෙන ගණිත විෂයේ වේගවත් ප්‍රවර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා සිය අරමුණ තමන්ට අහිමි වූ බොහෝ දේ මෙරට දරු පරපුරට ලබා දීම බව ද පැවසුවේ ය.