“The transformation of education begins with teachers”
“අධ්‍යාපනයේ පරිණාමනය ගුරුවරුන්ගෙන් ඇරඹේ.” අනාගත දේශයේ පුරවැසියන් තනන ශ්‍රී ලාංකේය පාසල් අධ්‍යාපනයේ ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් කැපවීමෙන් හා දිරියෙන් සිදුකළ සේවයට නිසි උපහාර දක්වන්නට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමී ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන “ගුරු ප්‍රතිභා ප්‍රභා” ගුරු – විදුහල්පති ඇගයිම් උලෙළ මෙවර ද ඔක්තෝම්බර් 06 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ 7වෙනි මහල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.
සෙසු වෘත්තිකයන් අතර සුවිශේෂී වැදගත්කමකින් යුත් වෘත්තිකයන් ලෙස ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හට ඇති සමාජීය පිළිගැනීම වඩාත් ගෞරවනීය මට්ටමකට ගෙන ඒ්මත්, වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවයක් සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළඹවීම හා දිරිමත් කිරිමත් මෙම ජාතික ප්රණාම උලෙළෙහි අරමුණ වේ.
ජාතික ඇගයීම් උලෙළ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ගරු සුසිල් ප්‍රේමජයන්ත් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු ඒ. අරවින්ද් කුමාර් මැතිතුමා, පිරිවෙන් රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා සහ, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු සුරේන් රාඝවන් මැතිතුමා යන මැතිවරුන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අධ්‍යාපන ලේකම් එන්.එම්.රණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්විම යටතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයේ කළමනාකරණ හා ප්‍රමිති ශාඛාවේ සංවිධානයෙන් සිදුකරන මෙම උත්සවයේ දී දිවයිනේ පළාත් 9 නියෝජනය කරමින් විදුහල්පතිවරුන් 45ක් හා ගුරුවරුන් 90ක් ප්රණාම ලැබීමට නියමිත වේ.