· අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹේ.
· ගුරු, අධ්‍යයන සහ අනධ්‍යයන එන්නත්කරණය දීප ව්‍යාප්ත ව 77%කින් අවසන්.
· නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර පාසල් විවෘත කිරීම ඇරඹේ.
ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/26වැනි දින නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන අද උදෑසන (2021/07/26) වනවිට 77%ක් පමණ අවසන්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ. ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබේ. එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය. ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත ය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ත් මෙම තත්ත්වය අවුරුදු 24ක් තිස්සේ පැවැති තත්ත්වයක් බව ත් පැවසූ අමාත්‍යවරයා තම රජය මේ ගැටලුව සම්බන්ධ ව සංවේදී ව සිටි බවත් පැවසී ය.
ඩී.සී පෙරේරා වාර්තාව තුළින් මෙම ගැටලුව සම්බන්ධ ව හෙළි කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද මේ සම්බන්ධ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව සඳහන්කොට තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් අනතුරු ව එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරු ව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද පැවසී ය. ඒ අනුව මේ ගැටළුව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයකොට සුබෝදිනී වාර්තාව ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධ ව වෘත්තීය සමිති සමඟ දිගින් දිගට ම සාකච්ඡා පැවැත්වුණු අතර අද සවස 05ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවිට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසී ය. එමෙන් ම හෙට උදෑසන (2021/07/27වන දින) නැවත වතාවක් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය. එබැවින් සිසු දරුවන් පීඩනයට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.