මේ රටේ දූ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ලෝකයේ කිසිම රටක ශිෂ්‍යයන්ගේ හැකියාවට දෙවැනි වෙන්නේ නැහැ. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලවල සිටින එනම් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සංසන්දනයේ දී කිසි ම වෙනසක් නැහැ. ඒ දරුවන්ගේ උත්පාදක ශක්තිය ඒ තරම් ඉහළයි.මේ වැඩසටහනට භාෂා තුනෙන් ම නිර්මාණ ඉදිරිපත් කරපු දරුවන් හිටියා. අපේ අධ්‍යාපන ක්රමයේ අරමුණ විය යුත්තේ එම උත්පාදක ශක්තිය උද්දීපනය කොට ගැනීම යි. අපේ අධ්‍යාපනයේ අභිමථාර්ථය වියයුත්තේ ද එයයි. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ 2021/04/21වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ‘රටක් වටින පොතක්’ වැඩසටහනට නිර්මාණ ඉදිරිපත් කළ දූ දරුවන්ට සංකේතාත්මක ව සහිතපත්ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ දරුවන්ට කුඩා කාලයේ සිට ම කියවීමට පුරුද්දක් ඇති කළ යුතු යි. පුස්තකාලවලට ගොස් පොත් පත් කියවලා දැනුම ලබා ගැනීමට කුතුහලයක් ඔවුන් තුළ ඇති කළ යුතු යි. දැනුම ලබාගැනීමට උනන්දුව සහ උද්යෝගය කුඩා කාලයේ ළමයින් තුළ ඇති කිරීමට කැප විය යුතු යි. අධ්‍යාපනය යනු ගවේෂණයක්. එයින් දරුවා තෘප්තියක් ලබා ගත යුතු යි. කියවීමෙන්, ලිවීමෙන් විශාල අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට පුළුවන්. ඒ කටපාඩම් හෝ විභාග මූලික අධ්‍යාපනය තුළින් නෙමෙයි.
අපි මීට මාසයකට විතර කලින් පටන් ගත්තා අපේ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රටේ සියලු ම දෙනාගෙන් අදහස් උදහස් ලබා ගැනීමේ ඩිජිටල් වේදිකාවක්. අපි ආරාධනා කළා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, ආගමික නායකයන්ට, ඒවගේ ම ආදි ශිෂ්‍ය සංවිධානවලට මේ සඳහා අදහස් උදහස් ලබා දෙන්නට කියලා. ඒ අනුව මේ වනවිට යෝජනා 950කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ දූ දරුවන්ට රැකියා ලබා දෙන සමාගම්වල අධ්යක්ෂවරුන්, සභාපතිවරුන් කැඳවලා ඒ යෝජනා ඒ අයට ඉදිරිපත් කිරීමට. ඒ යෝජනාවලින් කැපී පෙනෙන දෙයක් තමයි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම. වෙළඳපොළේ හොඳ රැකී රක්ෂා ලබාගැනීමට නම් භාෂා හැකියාව දියුණු කරගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඇත්තට ම ප්‍රධාන ම දේ ප්රාග්ධනය නොවෙයි. පුහුණු ශ්‍රමය සහ ශ්‍රම බලකාය. එහෙම ශ්‍රම බලකායක් අපිට තියෙනවා නම් රටේ ආර්ථිකයට විශාල එකතු කිරීමක් අපිට පහසුවෙන් කරන්නට පුළුවන් කියලා තමයි පෞද්ගලික අංශයෙන් යෝජනා ඉදිරිපත් වෙන්නේ.
මව් භාෂාව ඉතා ම වැදගත්. මුල් අවධියේ දී අනිවාර්යයෙන් මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම කළ යුතු යි. නමුත් එතනින් නොනැවතී ජාත්‍යන්තර භාෂාවක් පිළිබඳ දැනුම ලබාදීම ඉතා ම වැදගත්. අද ලෝකයේ ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශය ලබා ගැනීමට ශක්තියක් හැකියාවක් තිබෙන තරුණ පරම්පරාවක් අපේ රටේ සිටිනවා. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පුස්තකාල හා ප්‍රලේඛනසේවා ආයතනයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.