අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස්
කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝකයේ රටවල්වලින් තුනෙන් දෙකක් අධ්‍යාපනය සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන විශාල ලෙස අඩු කර ඇති බවට මේ සතියේ ලෝක බැංකුව සහ යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම තත්ත්වය සහ අපේ රටේ අද පවත්නා තත්ත්වය සංසන්දනය කළහොත්, පරස්පරයක් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
සාර්ථක, අසාර්ථක භාවය ගැන කතා කරනු වෙනුවට එය තක්සේරු කිරීමට අවංක උත්සාහයක් දරන්නේ නම් මේ තත්ත්වය වඩාත් පැහැදිලි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ අරමුණු යථාර්ථවත් කරමින් ශ්‍රී ලංකාව නිපුනතාවයෙන් සපිරි ශ්‍රම බලකායක් සහිත රටක් බවට පත් කිරීම වෙනුවෙන් නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති Skills Sri lanka වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්, අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මුළු ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වයක් තුළ පවා, වෙනත් රටවල් අධ්‍යාපනයට කරනු ලබන වියදම් සීමා කරමින් සිටියදී ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳ, ජනතා ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව සියලු දෙනා අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය .
බොහෝ දෙනාගේ ඉල්ලීමට සවන් දෙමින් ජාතික පාසල් පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම පිණිස මේ වන විට පියවර ගනිමින් සිටින බවත්,ඒ අනුව පළමු අදියර යටතේ මේ වර්ෂය තුළ ජාතික පාසල් 123 දෙවන අදියර යටතේ ජාතික පාසල් 673 ක්, පාසල් පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර යටතේ රුපියල් මිලියන 1000ක් ලබාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
නිපුණතා සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දෙමින් සෞභාග්‍යය දැක්ම දර්ශනය තුළ අපේ රජය ගෙන යන වැඩපිළිවෙළ අපට වඩා සම්පත් ඇති රටවල් සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විරුද්ධ පක්ෂය වැඩිම විරෝධතාවය එල්ල කරන්නේ ගම සමග පිළිසඳර වැඩපිළිවෙළට බව ද , ඊට හේතුව එය ක්රමානුකූල වැඩපිළිවෙළක් වීම සහ ගමට අවශ්‍ය දේ නායකයන් තීරණය කරනු වෙනුවට ගමේ මිනිස්සුන්ගෙන් විමසා බැලෙන හෙයින්, එම තත්ත්වය අත්පත් කරගෙන ඇති බවත්, දෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක වූ වැඩ සමඟ යළි ගමට වැඩසටහන් මාලාව ගම තුළ සම්පූර්ණ විපර්යාසයක් ඇති කිරීමට සමත්ව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගමට අවශ්‍ය රෝහල් පාසල් පානීය ජලය ඇතුළු සියල්ලක්ම සම්බන්ධයෙන් විශාල විපර්යාසයක් ගම තුළ සිදුකිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේසහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජයේ ප්‍රායෝගික පසුබිම මෙය බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස අධ්‍යාපනය සඳහා ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පෙන්වාදිය හැකි බවත්, පාසල් විෂය මාලාව නවීකරණය කිරීමට අවංක උත්සාහයක නිරත වන බවත් ඒ සඳහා සහාය වීමට සහ සම්බන්ධ වීමට සියළු පාර්ශවවලට ඇරයුම් කරන බවත් ප්‍රකාශ කළේය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සියලු ආගමික නායකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඒ සියලු දෙනාම එක් කර ගනිමින්, සියලු දෙනාගේ අදහස්වලින් පෝෂණය වෙමින් අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඒ සම්බන්ධයෙන් මේ මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද, විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවත්නා දුර්වලතාවක් වන සිසුන්ට ලබාදෙන අධ්‍යාපනය හා පවත්නා ජීවනෝපායන මාර්ග පිළිබඳ පරස්පරය තුරන් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය . තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය වැනි විෂයයන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධය සිසුන්ට ලබාදෙමින් ඒ සඳහා පදනම සකස් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, කැබිනට් අමාත්‍යවරුන් රැසක් ද, නිපුනතා සංවර්ධන ක්ෂේත්රයේ විද්වතුන් රැසක් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් ද එක්ව සිටියහ.