ආරක්ෂක, සෞඛ්‍ය සහ අනෙකුත් සියලු අංශවල පූර්ණ සහාය හා නිරන්තර උපදෙස් ලබාගනිමින් උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට නියමිත දිනයන්හි දී ම පෙනී සිටීමට සිසුදරුවන්ට අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. ඒ අනුව, කලින් නියම කර තිබූ පරිද්දෙන් ම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා දිනයේ ද, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 සඳුදා දින සිට නොවැම්බර් මස 06 වැනි දා දින තෙක් ද පැවැත්වේ.
රට තුළ දැනට මතුව පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ නුදුරේ දී පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති විශේෂ හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල, කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
විභාග සම්බන්ධයෙන් දරුවන්ගේත්, දෙමව්පියන්ගේත් අපේක්ෂා බිඳවැටීමට ඉඩ නොතබමින්, සියලු විභාග අපේක්ෂකයන්ගේත්, විභාග කටයුතු සඳහා සම්බන්ධ වන අනෙකුත් සියලු පාර්ශවකරුවන්ගේත් සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශාල අවදානමක් ගනිමින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, අවදානම හැකි උපරිමයෙන් අවම කිරීමට සියලු සමාජ පාර්ශවයන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත්, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කළේය.
විභාග මධ්‍යස්ථාන තුළ විශබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්යාරක්ෂිත උපදෙස් අකුරටම අනුගමනය කිරීමටත්, දැනට නිරෝධායනයට ලක්ව සිටින සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, විශේෂයෙන් ම සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධවෙමින් අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද මෙහි දී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ගේ පෞද්ගලික තොරතුරු, ආසන්න කාලසීමාව තුළ පැවති රෝග තත්ත්වයන් ඇතුළු සියලු විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවිය හරහා නිකුත් කරන පත්‍රිකාවක් මගින් මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට පියවර ගෙන ඇති බවත්, එම පත්‍රිකා මගින් අදාළ තොරතුරු ලබාදීමට දෙමව්පියන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.