නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කල සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට ප්රවිෂ්ඨවීම මෙහි දී කාලීන අවශ්‍යතාවක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව, උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවති අතර අමාත්‍යවරයා එහි දී මේ අදහස් පළ කළේය.
මෙහි පළමු අදියර යටතේ භික්ෂූන්වහන්සේලා විසි නමක් වෙත 2020-06-01 දින ගුරුපත්වීම් ලබා දෙන ලද අතර, අද ක්‍රියාවට නංවන ලද්දේ එහි දෙවැනි අදියරයි.
සිසුන් වෙත විෂය දැනුම ලබාදීමෙන් පමණක් අධ්‍යාපන පද්ධතිය තුළින් පරිපූර්ණ මිනිසුන් ගොඩනැංවිය නොහැකි බවත්, රටේ අනන්‍යතාව, සංස්කෘතිය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟිය හැකි පරපුරක් බිහිකිරීමේ වගකීම ගුරුපරපුරට පැවරෙන බවත්, ළමා මනස සංවර්ධනය කිරීම කුඩා කල සිට ම පෙරපාසල්, දහම් පාසල්, පිරිවෙන් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන හරහා සිදුකළ යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ හතරක් සහිත ව විශාල කාර්යභාරයක් පැවරී ඇති අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ භික්ෂූන් වහන්සේලා වෙත ගුරුපත්වීම් ලබාදීමට ලැබීම සතුටට කරුණක් බවත්, රටේ අධ්‍යාපන පද්ධතියෙන් රෝබෝවරුන් තනනු වෙනුවට සිරිත්, විරිත් හඳුනන, සංස්කෘතියට ආදරය කරන සංවේදී මිනිසුන් ගොඩනඟන්නට භික්ෂූන්වහන්සේලා ප්රමුඛ ආගමික සංස්ථාවට සැබෑ දායකත්වයක් ලබා දිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, අතිරේක ලේකම් (ආයතන) අනුෂා ගෝකුල ප්‍රනාන්දු, යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.