
තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්ව තවමත් ගතව ඇත්තේ දින 46ක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ අවුරුදු දශකයටත් වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති ගැටළු රැසක් පවතින බව මේ කෙටි කාලය තුළ තමාට හඳුනාගන්නට හැකි වු බවත්, ඉදිරියේ දී සියලු පාර්හවයන්හි සහයෝගයෙන් එම ගැටළුවලට ස්ථාවර විසඳුම් සෙවීම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
දිවයින පුරා ජාතික පාසල් 374ක විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර අමාත්‍යවරයා එහි දී මේ අදහස් පළ කළේය. මෙරට ජාතික පාසල් සඳහා සෘජු වගකීම දරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වුවත්, අදාළ විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර මේ ආකාරයේ හමුවක් පවත්වා ඇත්තේ වසර එකහමාරකට පසුවයි.
ජාතික පාසල්වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ඒ සඳහා ප්‍රමාණවත් පුහුණු ගුරුවරුන් ලබාදීම, පන්ති කාමර පහසුකම් වඩාත් පුළුල් කිරීම, පාසල් පිරියත සංවර්ධනය, භෞතික හා යටිතල පහසුකම් නගාසිටුවීම, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය ඉලක්ක කරගනිමින් නායකත්ව හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරියේ දී ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධ ව මෙහි දී අමාත්‍යවරයා සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
අධ්‍යාපනය හරහා මෙරට සංවර්ධනයේ නව දිශානතියකට යොමු කරවීම වෙනුවෙන් පාසල් ප්‍රජාව මෙහෙයවිය යුතු ආකාරයත් ඊට ජාතික මට්ටමෙන් මැදිහත්වීම ලබාදිය හැකි ආකාරය ද මෙහි දී අමාත්‍යවරයා සාකච්ඡා කළේය. රටේ අධ්‍යාපනය ගුණාත්මක ව ඉහළ නැංවිය හැක්කේ ඊට සම්බන්ධ ව සිටින සෑම පාර්ශවයක් ම තම තමන්ගේ වගකීම් නිසියාකාර ව හඳුනාගැනීමෙන් සහ ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන් ම පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ සංකීර්ණ වී ඇත්තේ ද අදාළ වගකීම සහ ක්‍රියාත්මකවීමේ බලය විදුහල්පතිවරයාට නිසියාකාර ව පැවරී නොතිබීම නිසා බව ද බලය විමධ්‍යගත කිරීමෙන් ගැටළු මතුවීම අවම වන බව තමන් විශ්වාස කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේය.
පාසල් සිසුන් මත් උවදුරෙන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් ද බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති දේශමාන්‍ය ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් මහතා විසින් මෙහි දී පවත්වන ලදී.