අධ්‍යාපන අමාත්‍යතුමාගෙන්...

මෙම මූලික සටහනෙහි ඇතුලත් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය සඳහා මේ දක්වා සලකා බලා ඇති යෝජනාවන්ය. ප්‍රතිසංස්කරණ සම්පාදකයන් ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමේදී අදාල රාමුවක් තුල අධ්‍යාපනයේ අදාලබව, ගුණාත්මක වටිනාකම, සිසුන්ට ඇතුලත්වීමට ඇති පහසුව, සමානාත්මතාව සහ සුරක්ෂිතභාවය යන මුලික කරුණු සලකා බලා ඇත. දශක රාශියක් ති‍ස්සේ ප්‍රතිසංස්කරණවල යෙදුනු අය විසින් මුහුණ දුන් ගැටළු රැසකට ධෛර්යමත්ව විසදුම් සොයා ගොස් ඇත. ඒ අනුව ඔවුන්ගේ ගැටළු රාශියකට අවධානය යොමු කරමින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර, එවායින් ප්‍රධාන ගැටළු 08 ක්ද, විසදුම් 16ක්ද, අදාල පාර්ශ්වකරුවන්ට ලැබිය හැකි ප්‍රතිලාභ රාශියක්ද මවිසින් හඳුනාගෙන ඇත.

අංගසම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට තුල ඇතිකළ යුතු වූයේ බො‍හෝ කලකට පෙරය. දශක කිහිපකයකට ප්‍රථම, ඥානාන්විතව සම්පාදනය කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ නම් වර්තමානයෙහි අප රට මුහුණ දෙන සමහර ගැටළු පැන නොනගිනු ඇත.

අධ්‍යාපනය, දැනුම නිර්මාණය කිරීම හා ආර්ථික සංවර්ධනය අතර බරපතල පරතරයක් පවතී. අප දැනුම පදනම් වූ ආර්ථිකයකට අවතීර්ණ වී සිටියද උගතුන්ගේ ආර්ථික දායකත්වය ඉතා පහල මට්ටමක පවතී. 1940 ගණන්වලදී ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විට අපේක්ෂා කලේ සමාජ සාධාරණත්වය ඇති කිරීම පමණක් නොව, උගත් ශ්‍රම බලකායක් විසින් හැඩගස්වනු ලබන ආර්ථිකයක් ද ගොඩනැගීමයි. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති අරමුණු ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පසුකාලීන ආණ්ඩු අපොහොසත් විය.

කුසලතා වර්ධනය සහ 21 වැනි ශත වර්ෂයකට අදාල වැඩබිමෙහි හා සමාජයෙහි වැදගත්වන කුසලතා කෙරෙහි අධ්‍යාපනය නැඹුරු කිරීම පිළබද වූ බරපතල පරතරයන් පවතී. උගතුන් බොහෝවිට රැකියා විරහිතව හෝ ඌන සේවා නියුක්තියෙහි යෙදී සිටින අතර ආර්ථිකය රදා පවතින්නේ පාසල් හැර ගියවුන්ගේ දහඩිය මහන්සිය තුලය.සිසුන්ගේ ඉගෙනුම් බර අඩු කිරීමට මෙන්ම විභාග කෙරෙහි අධික‍ ‍ලෙස අවධානය යොමු කිරීමෙන් ඇති වී තිබෙන විකෘති කිරීම් මග හැරවීමට ද ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. පුහුණුවලත් ගුරුවරුන් හා භෞතික සම්පත් බෙදාහැරීමේ විෂමාතාවලින් පෙ‍ළෙන පාසල් අතර පරතරය අවම කරලීමටද පියවර ගතයුතු වේ. අධ්‍යාපන පරිපාලන ක්‍රමය හා පාසල් කළමනාකරණය අධ්‍යාපනය ලබාදීමේ ඵලදායකත්වය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රතිසංස්කරණ අවශ්‍ය‍ වේ.

ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කරන කණ්ඩායම් විසින් අනුගමනය කරන ප්‍රවේශය පිළිබඳවද වදන් කිහිපයක් සඳහන් කළ යුතු වේ. මෙම ප්‍රවේශයේ සැකෙවින් මාර්ගෝපදේශ 06ක් අනුගමනය කර ඇත.

  1. ප්‍රතිඵල මාර්ගස්තවීම - මුලාරම්භයේ සිටම, ප්‍රතිසංස්කරණ යෝජනා සංකල්පනා ගොඩනැගීමේදී ප්‍රතිසංස්කරණවල අපේක්ෂිත ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමුවීම. (උදා. සිසුන්ගේ හා දෙමාපියන්ගේ ගැටළු ප්‍රශ්න හා ප්‍රතිලාභ).
  1. ක්‍රියාත්මක පියවරයන්හි ධාරිතාව ශක්තිමත් කිරීම

ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව මත බැවින් ප්‍රතිඵල ලබාගන්නා ස්ථානයෙහි ධාරිතාව කෙරෙහි අවධානය (උදා. පන්ති කාමර ව්‍යුහය, විශාලත්වය හා සිසුන්ගේ කණ්ඩායමික/ප්‍රායෝගික වැඩ සඳහා අවශ්‍ය වන උපකරණ/ද්‍රව්‍ය)

  1. පාර්ශ්වකරුවන්ගේ අවබෝධය හා සහභාගීත්වය

සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් නව විෂය නිර්දේශ හා ආදර්ශ පිළිබඳ අවබෝධයක් සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් වැනි පාර්ශ්වකරුවන්ට තිබිය යුතුය.

  1. නියතවු තාක්ෂණ ප්‍රවනතාවන් - අනාගත තාක්ෂණ ප්‍රවනතාවන් විසින් අර්ථිකයේ ස්වභාවය, කුසලතා අවශ්‍යතාවන් සහ සම්ප්‍රදායික පාසල, අධ්‍යාපන විෂයමාලාව හා එය ක්‍රියාත්මක කිරීම පරිවර්තනයට භාජනය කරනු ඇත. (උදා - Google අධ්‍යාපනය).

එබැවින්, ප්‍රතිසංස්කරණ අනාගතයට හුරුවූද පරිවර්තනාත්මකවූද ලක්ෂණ වලින් යුක්ත විය යුතු වේ.

  1. මූල්‍ය සහ අනෙකුත් සම්පත්වල සීමාවන් - ප්‍රාග්ධන හා පුනරාවර්තන අයවැය සීමා සහිත වන බැවින් පවත්නා සම්පත් අළුත් මාර්ග ඔස්සේ යෙදවීමට ප්‍රතිසංස්කරණ උත්සාහ කළ යුතු වේ.
  1. ප්‍රායෝගික වීම - අපට සුදුසුවන ප්‍රතිසංස්කරණ විශාල පරාසයක පැතිරී තිබුණද, සත්‍ය වශයෙන් ලඟා කරගත හැකි ප්‍රමාණය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඇති මුල්‍යමය, ආයතනික, ආකල්පමය, ව්‍යුහාත්මක හා පරිසරාත්මක හා ක්‍රියාත්මක කිරීමේ සීමාවන්ට යටත්වේ. අතීතයේදී විටින්විට සිදුවී ඇති පරිදි, ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වන්නාවු ප්‍රතසංස්කරණ යෝජනා නොකළ යුතුය.

විෂය පථයන් අනුව බලන විට, අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ අයත්වන ක්ෂේත්‍ර වනුයේ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය, අධ්‍යාපන කළමනාකරණය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල මානව සම්පත් පුහුණුව හා සංවර්ධනය සඳහා ආයතන ගොඩනැගීමද වේ. ඉදිරි මාස කිහිපය තුල ප්‍රතිසංස්කරණ යෝජනාවල ප්‍රධාන කොටස් සම්පුර්ණ කිරිමටද, හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමටත් මම අපේක්ෂා කරමි. පරිපාලන ප්‍රතිසංස්කරනවලට හා ධාරිතා සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමෙන් විෂයමාලා හා අනෙකුත් ප්‍රතිසංස්කරණ දියත් කිරීම ඉන්පසුව සිදුකිරීම පහසුවේ.

මහජන අදහස් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදීමෙන් ලැබුණු දායකත්වයන් මෙම වෙබ් අඩවියෙහි ඇතුලත් කර ඇති වාර්තාව මගින් සම්පින්ඩනය කර ඇත.

මෙම‍ අවසාන අදියරයේදී වුවද උනන්දුව දක්වන පුද්ගලයන්ගෙන් හා සංවිධානවලින් ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට මෙය අවස්ථාව කරගනිමි.

 

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පා.ම

අධ්‍යාපන අමාත්‍ය

අගෝස්තු 2022

TOP