• අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කළ යුතුයි…

    අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කළ යුතුයි…

    – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ එම පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අමතමින් පෙන්වාදෙන ලදි.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැතිවිණි.

    මෙහි දී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ…

    “රජයේ අරමුණු සහ සැලැස්ම සමඟ මේ රට පරිවර්තනීය යුගයක් වෙත ගෙනයාම මේ රටේ මානව සම්පත ගොඩනැගීම අපේ ප්‍රමුඛතම කාර්‍යයක් බවයි. ඒ මානව සම්පත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ විශේෂ අවධානයක් යොමුකරන ක්ෂේත්‍ර දෙකක් ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන කේෂ්ත්‍ර හඳුන්වා දිය හැක. ඒ අනුව පටු ලෙස විෂය මාලාව වෙනස් කිරීම හෝ කෙටිකාලීනව වසරකින් හෝ දෙකකින් කරන කාර්යයක් ලෙස නොව සමාජීය පරිවර්තනීය යුගයකට ගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත බිහි කරන වැඩපිළිවෙළක් ලෙස මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස බැලිය යුතු බවයි.

    එමෙන්ම මේ අවස්ථාවේ අපේ රටේ ඊළඟ පරපුර ගොඩනගන සහ රටේ දිශානතිය පිළිබඳව තීරණයේ ඇති බරපතලකම සහ වැදගත්කම අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ හොඳින් අවබෝධ කරගතයුතු බවත් මෙහි දී අපි කුමන කාර්යභාරයක්, කුමන නිලතලයක් දැරුවත් අපේ සියලුම වැඩකටයුතු සහ සැලසුම් වගේම අපේ සියලු අරමුණු මේ ප්‍රතිසංස්කරණයත් සමඟ සැලසුම් කරගෙන යෑම අත්‍යවශ්‍යය බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදි.

    අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ සෑම දෙපාර්තමේන්තුවක්ම සහ සෑම අංශයක් වෙතම පැවරුණු වගකීම් අවධාරණය කරගැනීම අතිශය වැදගත් වන බවත්, තීරණ ගැනීමේ දී එම තීරණ කොතෙක් දුරට මේ වනවිට සිදුකරමින් පවතින අධ්‍යාපන පරිවර්තනය සමඟ ගැළපෙනවාද යන්න මත තීන්දු තීරණ ගත යුතු වන බවත් ප්‍රකාශ කරන ලදි.

    එමෙන්ම අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ එම පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අදාළ අංශවල අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-08-21
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න.

    ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න.

    – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

    දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධානතම අරමුණයි.

    – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වෙන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙන්ම එමගින් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 07 දින කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි.

    මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

    සියලුම දරුවන්ට උසස් යැයි සම්මත රැකියාවල නිරත වීමට අවස්ථාව නොලැබෙන අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

    මෙහිදී ගුරු පුරප්පාඩු පියවා ගැනීමේ දී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමක්, හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-08-07
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • “සමස්ත රටේ ම සාධනීය වෙනසක් ඇතිකළ හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක්…”

    “සමස්ත රටේ ම සාධනීය වෙනසක් ඇතිකළ හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක්…”

    “විෂය භාර අමාත්‍යවරයා හෝ ලේකම්වරයා මේ තරම් හොඳ අවබෝධයක් ඇතිව ඇවිත් සිදුකරන මෙවන් දැනුවත් කිරීම් ගැන පෙර අත්දැකීම් නෑ…”

    “ඒ කැපවීම මහා සංඝයා වහන්සේ ලෙස අපි අගය කරනවා…”

    – අමරපුර, රාමඤ්ඤ මහා නිකායික නා හිමිවරු අගමැතිනියට පවසයි –

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් සිදුවන වෙනස්කමක් නොව, එමඟින් සමස්ත රටේම සාධනීය වෙනසක් ඇතිකළ හැකි බැවින් ඒ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක් වන බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නා හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පැවසූහ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අමරපුර හා රාමඤ්ඤ මහා නිකායික නායක හිමිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් අගෝස්තු 04 වැනි දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයේ දී පැවැත්විණි.

    මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ජාතික වැදගත්කම, විෂය සැලැස්ම, ඇගයීම්කරණය සිදුවන ආකාරය සහ ප්‍රතිසංස්කරණයන්හි අභිමතාර්ථ පිළිබඳව පුළුල් විග්‍රහයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නායක හිමිවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී උන්වහන්සේලා විසින් මතු කළ ප්‍රශ්නවලට, උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරමින්ම එම ගැටලු පැහැදිලි කර දෙනු ලැබීය.

    නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය , ජාතික අධ්‍යාපන කොමිසම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යන ආයතන වෙත පවතින සුවිශේෂී වගකීම් සහ එම ආයතන අතර පැවතිය යුතු මනා සහ සම්බන්ධතාවය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය.

    මහා නිකායික හිමිවරුන් මෙහි දී පිරිවෙන් අධ්‍යාපනය, දහම්පාසල් අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව කරුණු පෙන්වා දුන් අතර, යෝජිත ප්‍රතිසංස්කරණ ඔස්සේ පාසල් තුළ දෙවන බස ඉගැන්වීම සඳහා වැඩි ඉඩක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළහ.

    එමෙන්ම අමාත්‍යංශයක් භාර අමාත්‍යවරයකු ලෙස සහ අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිව අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් සිදුකරන මෙම පැහැදිලි කිරීම් සහ කැපකිරීම් ඇගයිය යුතුම බව පවසමින් මහා නිකායික ස්වාමීන්වහන්සේලා විසින් මෙහි දී ආශිර්වාද කළහ.

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරමින් මහා විහාර වංශික අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය සාහිත්‍යසූරී ගන්තුනේ අස්සජි මහ නා හිමියන්, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහා නායක අග්ග මහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි දර්ශනපති බලපිටියේ සිරිසීවලි නාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්‍ර මහා පණ්ඩිත මහචාර්ය අත්තන්ගනේ රතනපාල නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායෙ අනු නායක වලේබොඩ ගුණසිරි නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීවෙල මහින්ද නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති අත්තන්ගනේ සාසනරතන නාහිමියන් ඇතුළු මහා නායක හිමිවරුන් ඇතුළු දෙනිකායේ නායක ස්වාමීන්වහන්සේලා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා අතිරේක ලේකම් කමල් ආරියසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

    https://youtu.be/OHDCTOQMlD4?si=TFHfNSUuVqRwiIjN

    https://youtu.be/NQgN2EnVm2E?si=07JkmpBGECx0oDfX

    Upendra Lakmali

    2025-08-05
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවේ.
    සියලු දෙනා අවබෝධයෙන් ලබා දෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක්

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවේ.සියලු දෙනා අවබෝධයෙන් ලබා දෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක්

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ අද (02)පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,

    පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්. අපේ රටේ සියලුම දරුවන්ට සමාන අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය නම්, සියලු සම්පත් එක් කලාපයකට, එක් දිස්ත්‍රික්කයකට යෙදවිය නොහැකියි. එය සාධාරණ ලෙස බෙදා හැරිය යුතුයි.

    එහිදී දුෂ්කර සහ ඌණ සම්පත් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    ගුරු පුරප්පාඩුවලට විසදුම් ලබා දෙනවා වගේම සියලුම පාසල්වලට ඩිජිටල් පහසුකම්, ඉගෙනීමට පහසුකම් සහිත පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ජලය, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන අවකාශයන්, සෞන්දර්යය ඒකක ඇතුලු මේ සියල්ල පාසල්වල සංවර්ධනය කළ යුතුයි.

    ඒ සදහා අපට හොඳ සැලැස්මක් තිබෙනවා. ඒ වගේම තක්සේරු කිරීම සහ ඇගයීමත් අතිශයින්ම වැදගත්. අපට අවශ්‍යයි වඩාත් ළමා හිතකාමී ඉගෙනුම් ක්‍රමයක්, ඉගැන්වීමේ ඉගෙනුම් පරිසරයක්. දරුවන්ට ලබා දෙමින් සමාජයට වගකියන පුරවැසියෙක් පාසලෙන් බිහි කරන්න.

    ඒ වෙනුවෙන් අපි මේ මහජන විවාදය, මේ සාකච්ඡාව සිදු කරමින් යන්නේ. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ හරිනි අමරසූරියගේ හෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක්. අපි හැමෝටම ඒගැන අදහසක් තිබෙන්න ඕනේ. අපි හැමෝටම ඒකට සම්බන්ධ වෙන්න ඕන.

    මේ සාකච්ඡාව දිගටම අවශ්‍යයි, මොකද අපි මේ ප්‍රතිසංස්කරණය අදියරෙන් අදියර ඉදිරියට සිදු කරනවා. සියල්ල සූදානම් කරගෙන මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න හිටියොත් අපට තවත් අවුරුදු 10ක් වත් බලා ඉන්න වෙනවා. ඒ නිසා 2026 දී 1 වසරට සහ 6 වසරට මේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා.

    අපි නිරන්තරයෙන් ඔබේ ප්‍රතිපෝෂණය, ඔබේ අදහස් යෝජනා ඇහුම්කන් දෙමින්, නම්‍යශීලි වෙමින් සාධනීය ව සිදුකළ හැකි වෙනස් කම් සිදු කරමින් යනවා. හැබැයි අපිට මේ වෙනුවෙන් දැක්මක් තිබෙනවා.

    අපේ රටේ සියලුම දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සියලු දෙනා එකඟයි. ඒ නිසා ඔබ ප්‍රතිසංස්කරණයේ එක කුළුණක් ගැන පමණක් සිතන්න එපා. මේක සමස්ත අධ්‍යාපන ව්‍යුහය වෙනුවෙන් වූ සම්පූර්ණ පැකේජයක්.

    රේඛීය අමාත්‍යාංශයේ පාසල් , පළාත් පාසල් ලෙස බෙදිලා මේක කරන්න බැහැ. රටේ සියලු දරුවන් අපේ දරුවන්. ඉතින්, අපට වෙන් වෙලා වැඩ කරන්න බැහැ. අපි එකට වැඩ කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ අපට එකිනෙකා සමඟ ඉතා සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇතිව වැඩ කළ යුතු වෙනවා. දරුවන් වෙනුවෙන් අපි එකට වැඩ කරමු.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සංවාදයක් ඇති කරන්න. අපි මේ වනවිට ගුරු සංගම් සමඟ වෘත්තීයවේදීන් සමඟ විශ්වවිදයාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළා. ඉදිරියටත් සිදු කරනවා.

    දෙමාපියන් ඇතුලු සමාජයේ සියළු අංශ මේ සමඟ සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම් වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Upendra Lakmali

    2025-08-02
    Uncategorized @si-lk, අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්න
    අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයි.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්නඅස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයි.

    මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දී සැළකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝසභාවේ ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කිරීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජුලි 31 පැවති සාකච්ඡාවකදී අනුනාහිමිවරුන් මේ බව පැවසූහ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය.

    මෙහිදී අනුශාසනා සිදු කළ අස්ගිරි මල්වතු උභය විහාරික අනුනාහිමිවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සාරධර්ම ඉගැන්වීම වැදගත් බවත්, වෘත්තීය වශයෙන් මෙන්ම මානූෂිය වශයෙන් දරුවන් තුළ වර්ධනය කළ යුතු අංශ පිලිබඳවත් අවධාරණය කළහ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු වෙනස්කම් පිලිබඳවද මෙහිදී අදහස් පළ කළහ.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රි උපාලි නායක ස්වාමීන්වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රි සරනංනකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-31
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා.

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවත්, මේ ප්‍රතිසංස්කරණ පක්ෂයක හෝ කණ්ඩායමක කාර්යයක් නොව ජාතික වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාත් බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

    2024 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වුණා වසරකට 20,000ක පිරිසක් පාසලෙන් ඉවත් වුණාම වුණේ මොකක්ද කියලා හොයා ගන්න නැහැ කියලා. ඒ වගේම පාසල් යන දරුවන්ගෙන් 80,000ක් හරියට පාසලට පැමිණ නැහැ. වසරකට පළමු වසරට ලක්ෂ තුනක් ඇතුලත් වෙනවා. ඒ දරුවන්ගෙන් විවිධ අවස්ථාවල පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙලා ලක්ෂ එක හමාරක් විතර වෘත්තීය අධ්‍යාපනයට හෝ පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවා. රජයේ විශ්වවිද්‍යාල වලට 40,000ක් පමණ ඇතුලත් වෙනවා. නමුත් ඉතිරි දරුවන්ට මොකද වෙන්නේ, ඔවුන්ගේ අනාගතය මොකක්ද කියලා කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සිදු කරන්න කටයුතු කර තිබෙනවා.

    අපේ පාසල් අධ්‍යාපනය තුළ වසර 13ක් අධ්‍යාපනය ලබලා පාසලෙන් පිට වෙන දරුවන්ට පහසුවෙන් රැකියා ලෝකයට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා. පාසලකින් ලබන අධ්‍යාපනය ප්‍රමාණවත් වෙලා නෑ රැකියාවකට යන්න. මේක විශේෂයෙන්ම අපේ ගැහැණු දරුවන්ට වැඩි වශයෙන් බලපාලා තියෙනවා. අපේ ගැහැණු දරුවන් පාසලේ දි ඉතාමත්ම හොඳින් දක්ෂතා පෙන්නුම් කරලා තිබුණට රැකියා වෙළඳපොළට ගියාම පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ගේ සහභාගීත්වය 50%කට වඩා අඩුයි.

    අධ්‍යාපන කුසලතාව තිබුණත් රැකියා ලෝකයට පිවිසෙන්න දරුවන්ට අසීරු වෙලා තියෙනවා. ඒකට අධ්‍යාපනය විතරක් නෙවෙයි වෙනත් කාරණා ගොඩක් තියෙනවා. ඒ වගේම අද අපි මුහුණ දෙන සමාජ ප්‍රශ්නත් ඒකට බලපානවා. නීති රීති හරියට අනුගමනය කරන තැන සිට සමස්ත සමාජ ක්‍රියාවලිය තුළ සහකම්පනය, ඉවසීම, සාමාන්‍ය දැනුමක් සහිත රැකියාවකට පිවිසිය හැකි සමාජයට වගකියන පිරිසක් අධ්‍යාපනය තුලින් බිහි කිරීමත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණකි

    විශේෂයෙන්ම නවීන තාක්ෂණික ලෝකය තුළත්, ඉතාමත්ම සීඝ්‍රයෙන් වෙනස් වෙන සමාජය තුළත් ගැටෙන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන් දරුවෙක් අපි නිර්මාණය කරන්න ඕන. අපිට හිතන්න බැරි වේගයෙන් තොරතුරු අපිට ගලාගෙන එනවා. නමුත් තොරතුරු විශ්ලේෂණය කරලා එහි සත්‍ය අසත්‍යභාවය ගැන අදහසක් ගන්න හැකියාව තියෙන පුද්ගලයින් බවට දරුවන් පත්විය යුතුයි. ගවේෂණශීලී මනසක් තියෙන දරුවන් තමයි අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ.

    විභාග ප්‍රතිඵල වලට පමණක් සීමා නොවන නව තෝරා ගැනීම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ අපි පළාත් මට්ටමින් සිදු කරන හත් වන සංවාදය, ඒ හැම සංවාදයකින්ම අපිට ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් වුණා. ප්‍රතිසංස්කරණ තව දියුණු කළ යුත්තේ කෙසේද කියලා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අමතරව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සංගම් සමගත් සාකච්ඡා කරමින් යනවා. ඒ සියලු සංවාද හරහා එන යෝජනා අපිට ඉතා වැදගත්. මේ එක දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක වගකීමක් නෙමෙයි. මේක ජාතික වැඩසටහනක්, එ නිසා ජාතික සංවාදයක් සිද්ධ විය යුතුයි. ඒ සංවාදයේ ඇතිවන යෝජනා, චෝදනා, අදහස් වලට ඇහුම්කන් දෙන්නත්, ඒ අනුව සාධනීය වෙනස්කම් සිදු කරන්නත් අපි සූදානම්.

    සංවාද විතරක් කරලා මේක කරන්න බැහැ කොතනින් හරි පටන් ගන්න ඕන. ඒ නිසා ලබන වසරේ සිට 1වසරට සහ 6 වසරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ආරම්භ කරනවා. යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ මධ්‍යම පළාත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-31
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ප්‍රතිසංස්කරණය 2026 වසරේ ක්‍රියාතමක වෙන්නේ 1 වසර සහ 6 වසරට, මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙනවා.

    ප්‍රතිසංස්කරණය 2026 වසරේ ක්‍රියාතමක වෙන්නේ 1 වසර සහ 6 වසරට, මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙනවා.

    ගුරුවරයා කතාකරන දරුවන් අහගෙන ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයට විනාඩි 50ක කාල පරිච්ඡේද දිහා බලන්න එපා,
    මාලිමා රජය මොඩියුල් වලට පේටන්ට් ගන්න බලාපොරොත්තුවක් නැහැ, මෙිඩියුල් ක්‍රමය ලෝකයේ පවතින ක්‍රමවේදයක්

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    2026 වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙන බවත්, ගුරුවරයා කතාකරමින් දරුවන් අසා සිටින සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේ සිට විනාඩි 50 කාලපරිච්ඡේද විවේචනය නොකරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

    පවතින අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් වැරදියි කියලා අපි කියන්නේ නැහැ, ඒ තුලින් විශිෂ්ඨයන් බිහි වුණා. නමුත් වසරකට දරුවන් විශාල ප්‍රමාණයක් අතර මගින් හැලෙනවා. ඒ අය ගැන කාගෙවත් අවධානයක නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙතෙක් පැවති විෂය මාලා සංවර්ධනයට එහා ගිය සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන්නේ.

    2026 සිට මේ ක්‍රමය හදුන්වා දෙන්නේ 1 වසරට සහ 6 වසරට ඒ වෙනුවෙන් මුලික ප්‍රමුඛතාව ලබා දෙනවා. අදියරෙන් අදියර ඉදිරි ප්‍රතිසංස්කරණය සිදු කරනවා. අධ්‍යාපන කාර්යය තුළ තීරණාත්මක සාධකය ගුරුවරයායි. ගුරු හිඟය විසඳීමට නිවැරදිව ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ගුරු තුළනය නිසි පරිදි සිදු කළ යුතුයි.

    සබරගමුව පළාතේ දරුවන් 10ට අඩු පාසල් තිබෙනවා. සමහර පාසල්වල එක ගුරුවරයෙකුට ළමයි ගණන 5යි. මේ තත්වය නිවැරදි විය යුතුයි. ජාතික සහ පලාත් පාසල් අතර ගුරු මාරුව පිලිබඳව මේ වනවිට අමාත්‍යංශය සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී ඒ පිලිබඳ තිරණයක් ගන්න කටයුතු කරනවා.

    2024 අධ්‍යාපන අමාත්‍යංශය කළ සංගණනයකින් හෙළි වුණා ළමුන් 20,000ක් අධ්‍යාපනයෙන් අතරගම නතරවෙලා තිබෙනවා අදටත් ඒ දරුවන්ට සිද්ධ වුණු දේ ගැන කිසි තොරතුරක් නැහැ. ඒ වගෙිම 80,000ක් දරුවන් හරියට පාසලට පැමිණ නැහැ මේක ලොකු ගැටලුවක්,

    මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය දුවන්නේ සුළු පිරිසකගේ කැපවීම මත පුද්ගලයෙක් මත අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න බැහැ, පද්ධතියක් විදිහට ශක්තිමත්ව පැවතිය යුතුයි.

    මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙනවා, සාම්ප්‍රදායික ඉගෙන්වීම් ක්‍රියාවලියේ සිට මේ කාලය තීරණය කරන්න යන්න එපා. ගුරුවරු කතා කරන දරුවන් අහගෙන ඉන්න ක්‍රමය නෙමෙයි නව ප්‍රතිසංස්කරණයෙන් හදුන්වා දෙන්නේ. ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක්.

    මොඩියුල් ක්‍රමය හදුන්වා දෙන්නේ මාලිමා රජය මොඩියුල්වලට පේටන්ට් ගන්න නෙමෙයි, ඒක ලෝකයේ භාවිත කරන ක්‍රම වේදයක්,

    මෙතෙක් කලක් පැවති රජයන් අධ්‍යාපනය භාවිත කළේ තමන්ගේ නම ප්‍රචාරය කරගැනීමට බවත්, ඡන්දය ලබාගැනීමේ අරමුණින් දරුවන් පාසලට ඇතුලත් කිරීම හේතුවෙන් අධ්‍යාපනය තවත් අවුලට ගිය බවත් ඒ තත්වය මේ වනවිට වෙනස් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය,

    මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,

    සමහරු චෝදනා කරනවා අපි කිසියම් පිරිසකගේ උවමනාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා කියලා විශේෂඥයින්ගේ දැනුම යොදාගෙන නැහැ කියලා ඒක අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා. අපි කාගෙවත් උවමනාවට නෙමෙයි ජාතික අවශ්‍යතාවක් අනුවයි මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ ඔවුන් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කරන තොරතුරු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අතර කිසිදු සම්බනධයක් නැහැ කියන කාරණය අපි වගකීමෙන් කියනවා.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රීක් සංවර්ධන කමිටු සභාපති ශාන්ත පද්මකුමාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික අධ්‍යාපන, ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-27
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම්.

    ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම්.

    මගේ ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න කටයුතු කරනවා…

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම් බවත්, තම ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹිමෙන් අනතුරුව අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය වේ බව පැවසීය.

    ” වත්මන් පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ලොව දකින දරුවන් අනාගත ගෝලීය අභියෝග ජයගැනීමට සුදානම් ද ? යන තේමාව යටතේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණ අතර පාර්ලිමේන්තු සභාවාරය අවසානයේ දරුවන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු කෙරිණ .

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩිහිටියන්ට වඩා හොදින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දරුවන් තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හොදින් විශ්ලේෂණය කරලා තිබුණා. එහි තිබෙන හොඳ නරක අභියෝග ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඔබ ඉතාමත්ම දක්ෂ විදියක් ඉදිරිපත් කළා. මම ඇත්තටම යෝජනා කරනවා ඔබත් මේ ගැන කතා කරන්න, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අමාත්‍යංශයේ ඉන්න නිලධාරින්ගේ හෝ අමාත්‍යවරු විතරක් හදන දෙයක් වෙන්න බෑ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ රටක ඇතිවෙන සංවාදයක් තුළ අපි එකතුවෙලා නිර්මාණය කරගත යුතු දෙයක් දෙයක්. ඒකට සෘජුවම මේ රටේ තරුණ පරපුර, සිසු සිසුවියන් සම්බන්ධ විය යුතුයි.ඒ නිසා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඔබ පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් තියලා හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබේ වයසේ අනිත් ශිෂ්‍යයා ශිෂ්‍යාවන්ගෙන් අදහස් යෝජන අරගෙන අපිට එවන්න ඒවා අපිට හරිම වැදගත්.

    මට පාසලේ සිසුවියක් පරිසර හිතකාමී සැලසුම් ව්‍යාපෘතියක් භාරදුන්නා ඒ උත්සාහයන් ගොඩාක් වටිනවා.

    ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මෙතන විවාදයේදි එක අමාත්‍යවරියක් කළ කතාවක් මට ඉතා තදින් දැනුණා. ඒ තමයි ළමා කාලයේ සුන්දරත්වය ගැන කථා කරන වැඩිහ්ටියන් අපේ ළමා කාලය විනාශ කරනවා කියලා. මම අද තීරණය කළා ආපසු මගේ ළමා කාලය ගැන මම දරුවන් ඉදිරියේ කතා කරන්නේ නැහැ ඒ වෙනුවට මේ රටේ දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න කටයුතු කරනවා.

    ඒ වගේම ඔබ සියලු දෙනා ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය කළමනාකරණය කළ ආකාරය, ඒ තුළ කතා කරපු විදිහ දැක්කම ඒක අහගෙන ඉන්නකොට හිතටත් පුදුම සතුටක් හරිම ආඩම්බරයක් දැනුනා රට ගැන විශ්වාසයක් ඇතිවුණා. අනාගත පරපුර දියුණුයි අනාගත පරිපුර හරිම දක්ෂයි කියලා.

    විදුහල්පතිතුමා ඇතුළු ගුරු බවතුන්ටත්, දෙමව්පියන්ටත් මෙවැනි දරු පරපුරක් බිහිකිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    බෞද්ධ කටයුතු, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරතන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර, සුනිල් රජපක්ෂ, වෛද්‍ය ජනක, පළාත අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්, සීවලි මධ්‍ය විද්‍යාලයේ විදුල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත ඇතුළු විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ දූදරුවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-26
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ.

    විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ.

    -අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

    විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති බවත් , ඒ ක්‍රමය වෙනස් කිරීමට මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බවත් , ඒ ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවත්, අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

    2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජුලි 23 දින බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අශෝක ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

    එහිදී, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය,

    ” අපි පුරුදු වෙලා තියෙන්නේ ගුරුවරු දෙමව්පියෝ වගේම ළමයිනුත් විභාගෙකට සූදානම් වෙන අධ්‍යාපන ක්‍රමයකටයි. නමුත් මේ මොඩියුල ක්‍රමයේදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයි ඉගෙන ගැනීමට යොමුවන අතරෙම, ඇගැයීමටත් ලක්වෙනවා“.

    නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත 2029 වර්ෂයේ දීය. 2026 සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණයි. අපිට මේ ක්‍රමය නිරීක්‍ෂණය කරන්න අවුරුදු 03ක් තියෙනවා. එහිදී මුහුණ දෙන්න වෙන තත්ත්වයන් සහ අවශ්‍යතා එක්ක අපිට පුළුවන් මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් කරන්න. අපි කොහෙදිවත් කියලා නෑ මේ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ අවසානාත්මකයි කියලා. අවස්ථානුකූලව එය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබටත් ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

    පන්ති කාමරය තුළ ළමයින් 25 – 30 දක්වා අඩු කරන්න අවශ්‍යයි. දැනට පන්ති කාමරයක ළමයි 40 ඉක්මවලා ඉන්න පන්ති කාමරත් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නියමිත සිසුන් ගණනට වඩා සිසුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කරගන්න කියන අධ්‍යාපන ඇමති සහ ලේකම්ගේ නිර්දේශ මත සිදුවන ඇතුළත් කිරීම් නිසා. ඒ ක්‍රමය අපේ රජය යටතේ සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වෙන්නේ ඒ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණයි.

    ඒ වගේම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න අපි තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම කරන්න නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒක අපිට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන, පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කරන්න තමයි අපි මේ ප්‍රතිසංස්කරණ වලදි බලාපොරොත්තු වෙන්නේ.

    පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ එම ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ පූර්ණ නිරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා. ” යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා,

    “ගුරු පුහුණුව පිළිබඳව අපි විශේෂ අවධානයක් මෙහිදී යොමු කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන කුලුනු පහට ගුරු පුහුණුවත් ඇතුළත් වෙලා තියෙනවා. එළැඹෙන අගෝස්තු මාසයේ ගුරු පුහුණුව ආරම්භ කරන වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කරලා තියෙනවා. ” යැයි පැවසීය.

    මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් සහ අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමු කිහිපයක්ම ඉදිරියේදී පැවැත්වීමට ද මේ වන විටත් කටයුතු යොදා තිබේ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-23
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර…

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර…

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් අද 22 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

    එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “අපගේ රජය විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරමින් ඉන්න යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය තුළ ලොකු උනන්දුවක් වගේම සැලකිය යුතු මට්ටමේ කතාබහකුත් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ අපි රජයක් හැටියට සතුටු වෙනවා. ජාතික වැදගත්කමක් තියෙන මේ වැඩපිළිවෙළ ගැන සමාජ සංවාදයක් ඇතිවෙන එක ඉතාම වැදගත්.

    මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඔබ සියලුදෙනාම යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන, ඒ අනුව ඔබ දැනුම්වත් කිරීමේ සහ මේ පිළිබඳ ඔබගේ යෝජනා සහ අදහස් ලබාගැනීමේ එක් පියවරක් විදිහටයි අද අපේ මේ හමුව පැවැත්වෙන්නෙ.

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සැකසු විස්තරාත්මක ලේඛනයක් ඔබ වෙත ලබාදීමෙන් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඔබගේ අදහස් සහ යෝජනාවලට ඇහුම්කන් දෙන්න අපි සූදානම්” යනුවෙන් අග්‍රමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

    අගමැතිතුමියගේ මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය දර්ශන සමරවීර මහතා විසින් විස්තරාත්මක දෘශ්‍ය මාධ්‍ය පැහැදිලි කිරීමක් පැමිණ සිටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය.

    අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවඥානම් ශ්‍රීධරන්, අජිත් පී පෙරේරා, රෝහිණි කවිරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අදහස් දැක් වූ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සාධනීය කාරණා වෙත තම සහායෝගය ලබා දෙන බවත් එහිදී පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් පැවසූහ.

    ඉංග්‍රීසි බස අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගැනීම කෙරෙහි සහ ඉංග්‍රීසි බස වඩා ප්‍රචලිත කිරීම, අධ්‍යාපනයට අවශ්‍ය මානව සම්පත් හැකි උපරිමයෙන් ලබාදීම යනාදි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අවධානය යොමු වු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ඔවුන් මතු කළ ප්‍රශ්නවලට, අගමැතිතුමියත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් පිළිතුරු ලබා දුන්හ.

    එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

    විෂයමාලා ප්‍රතිසංස්කරණය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු එකක් නොව එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත්, ඒ අනුව මෙවර සිදු වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය (System) එකම වෙනස් කිරීම බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, එය කඩිමුඩියේ නොව කාලයක් අරගෙන පරික්ෂාකාරීව අදියරෙන් අදියර ඉදිරියට කරගෙන යාමට නියමිත ක්‍රියාවලියක් බවත් ප්‍රකාශ කළාය.

    මෙහි පළමු අදියර 2026 දී පළමු වසර සහ හය වසර සිසුන් සඳහා ක්‍රියාත්මක කරන බවත්, එහිදී ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළාය. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සාපේක්ෂව වෙනස් මෙන්ම නව ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරන බව පැවැසූ අග්‍රාමාත්‍යතුමිය, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, විෂයමාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්, අධ්‍යාපන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංකරණ, තක්සේරුකරණය සහ ඇගයීම් ක්‍රියාවලිය, මහජනයා දැනුම්වත්කිරීම හා ප්‍රචාරණය යන කුළුණු පහ මත පදනම් වන බවත් පෙන්වා දුන්නාය.

    පක්ෂ විපක්ෂ සියලූම ගරු මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම් සහ ඔවුන්ගෙන් මතු වූ ප්‍රශ්නවලට සාවධානව සවන් දෙමින් ඒවාට නිසි පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය, මෙවැනි දැනුම්වත් කිරීම් ඉදිරියේදිත් සිදු කරන බවත්, මෙම අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් පිළිබඳ තම අවධානය යොමු කරන බවත්, එසේ කරුණු ඉදිරිපත් කිරීම ගැන තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළාය.

    මෙම හමුවට පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-22
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින් නව සමාලෝචන රැසක්.

    තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින් නව සමාලෝචන රැසක්.

    – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    2026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට විෂය මාලා සංශෝධනය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.

    මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය විෂය ධාරාවන් 10 සහ 11 ශ්‍රේණි සඳහා හඳුන්වාදීමට නියමිත අතර එහිදී සෑම පාසලකම 10 සහ 11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයක් ලෙස මෙම වෘත්තීය විෂයන් හඳුන්වා දෙනු ඇති බවත්, ඒ අනුව 10 ශ්‍රේණියේ සිට වසර හතරක පාසල් කාලයක් වෘත්තීය විෂයක් හදා‍රා NVQ 4 සහතිකය ලබා ගැනීමේ හැකියාව සිසුන්ට හිමි වේ.

    ඒ සඳහා විෂය මාලාව සහ මොඩියුල සංවර්ධනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ වන විට සිදුකරමින් සිටින බවත් මේ හරහා උසස්පෙළ වෘත්තීය විෂයන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව පවතින පාසල් 609ක ප්‍රමාණයේ සිට පාසල් 1,000ක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමිය පැවසී ය.

    පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා එම අංශයට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ ද සහය ඇතිව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා එම ක්ෂේයට අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ රැස්වීම් පවත්වමින් මූලික කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතින බවත් එළඹෙන සැප්තැම්බර් වන විට සම්පූර්ණ කෙටුම්පත සකස් කොට ඉදිරිපත් කෙරෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

    එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් 10, 11 ශ්‍රේණිවල වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරු විද්‍යාල හරහා ගුරුවරුන් බඳවාගෙන පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.

    දැනට වෘත්තීය විෂය ධාරාවන් සඳහා පත් කර ඇති ගුරුවරුන් වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද සහය ඇතිව විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රවණතා සහ අත්දැකීම් ලබා දෙමින් ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් ඉදිරි අවුරුදු පහක කාලයක් දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වෘත්තීය විෂය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා අනුව වෘත්තීය විෂය ධාරාව නැවත සමාලෝචනය කර විෂය මොඩියුල සඳහා අවශ්‍ය වෙනස්කම් ඇතුලත් කිරීම 2026 සහ 2027 වසරවල් තුළ අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-09
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන කොමිසමේදී පැවැත් විණි.

    නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරගෙන යන කාර්ය භාරය මෙහිදී පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී කොමිසමේ පවතින ගැටළු පිලිබඳවත්, ඉදිරියේදී කළයුතු වැඩසටහන් පිළිබඳවත් අමාත්‍යවරිය කරුණු පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල් පිලිබඳ සමීක්ෂණ සිදු කිරීමත්, නියාමනය කිරීමත් ජාතික අධ්‍යාපන කොමිසමට පැවරෙන බව ද පැවසූ අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති වඩාත් තීව්‍ර ව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධ ව කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු කොමිසමේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වේ.

    2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වේ.

    2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර හා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජුනි 16 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියම්ත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවාය.
    මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

    මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තවද මෙම ප්‍රතිසංස්කරණ වලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

    මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.

    Upendra Lakmali

    2025-06-17
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

අඩවි සංචාලන
  • අමාත්‍යාංශය ගැන
  • පුහුණු අවස්ථාව
  • චක්‍රලේඛ
  • අධ්‍යාපන සේවා
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • නිතර අසන පැන
  • අඩවි සිතියම
මාධ්‍ය මධ්‍යස්ථානය
  • පුවත්
  • විශේෂ නිවේදන
  • මාධ්ය නිකුතුව
  • සිදුවීම්
  • ඡායාරූප ගැලරිය
  • වීඩියෝ ගැලරිය

ප්‍රකාශන හිමිකම © 2024 – අධ්‍යාපන අමාත්‍යාංශය | සියලුම හිමිකම් ඇවිරිණි

සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ:
Webcomms Global (PVT) Ltd.

නියම සහ සේවා