සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.10 වන දින දියගම දී ආරම්භ විය. දිවයිනේ පාසල් 1,170ක් නියෝජනය කරමින්, තරග අංශ 525කින් සමන්විත මෙම මලල ක්‍රීඩා තරගාවලිය මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලියයි.
ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරමින් සමාරම්භක ප්‍රකාශය සිදු කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසා සිටියේ ක්‍රීඩාව පමණක් නොව දරුවෙකුගේ පෞරුෂය, තීරණ ගැනීමේ හැකියාව, සහ කණ්ඩායම් හැඟීම වර්ධනය සඳහා පාසල තුළ සිදු කරන ක්‍රීඩා ඉවහල් වන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩාවේ වැදගත්කම දන්නා රජයක් ලෙස, ක්‍රීඩකයෙකුගේ අංකුර අවස්ථාවේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයින් ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි. ඊට අමතරව, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද ක්‍රීඩාවේ සංවේදනය ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව ද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු කලාප අධ්යක්ෂවරුන්, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විෂය භාර කලාප අධ්යක්ෂවරුන්, පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
























