නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ගැටලු රැසකට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විසඳුම්…

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සීමාවාසික පුහුණුව ප්‍රමාදවීම වළක්වා ගැනීම, නේවාසිකාගාර කළමනාකරණය, සම්පත් හිඟය ආදී ගැටලු රැසක් පිළිබඳ විසඳුම් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා ඉදිරි සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාව පළ කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2025.08.12 වන දින කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමඟ කොළඹ 07, වෝඩ් පෙදෙස, උසස් අධ්‍යාපන අංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

සිසුන්ගේ සීමාවාසික පුහුණුව ප්‍රමාදයකින් තොරව සිදු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කඩිනම් ක්‍රියාමාර්ගවලට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මේ වන විට බොරැල්ල දේශීය වෛද්‍ය පීඨය සතුව පවතින නේවාසිකාගාර නිසි පරිදි කළමනාකරණය නොවීම, නේවාසිකාගාර නිසි පරිදි නඩත්තු නොකිරීම, නේවාසික ශිෂ්‍යයන් මුහුණ දෙන සුබසාධන ගැටලු, නේවාසිකගාර පහසුකම් ලබාදිය හැකි ව තිබිය දී කුලී නේවාසිකාගාර සඳහා විශාල මුදලක් වැය කිරීම ආදී ගැටලු ශිෂ්‍ය නියෝජිතයින් විසින් පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව අපිට හැකියාව ලැබුණා පීඨයේ පරිපාලනය සමඟ සාකච්ඡා කරන්නට සහ අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දෙන්නට. තවදුරටත් මේ පිළිබඳ සුවිශේෂ මැදිහත් වීමක් සිදු කරනමින් සිසුන්ගේ සුබසාධනය සහ අනෙකුත් ගැටලු ද ඉතා ඉක්මනින් විසඳීමට අපට හැකි වේවි.

ඉහළ යන ශිෂ්‍ය ලියාපදිංචියට සාපේක්ෂ ව භෞතික සහ මානව සම්පත් සංවර්ධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව සිසුන් විසින් මතු කරන ලද අතර රජයේ පාර්ශ්වයෙන් ඒ සඳහා ද කෙටි කාලයක් තුළ විසඳුම් ඉදිරිපත් කිරීමට අපිට හැකියාව ලැබේවි. විශේෂයෙන් ම විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, අධ්‍යයන ශාලා පහසුකම්, ආපන ශාලා පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන්නටත් කටයුතු කරනවා.

මීට අමතර ව විෂය නිර්දේශයන්හි ඇති ගැටලුකාරී තත්ත්වයන්, සායනික පුහුණුව සම්බන්ධ ඇති ගැටලු, සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්බන්ධ මතු ව තිබෙන ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, කොළඹ විශ්වවිද්‍යාලය සහ පීඨ නියෝජිතයන්, ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු සියලු ම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ පුළුල් සාකච්ඡාවක් ඇත්තට ම අවශ්‍ය යි. ඒ නිසා එම ගැටලුවලට විසඳුම් ඉදිරි කාලයේ දී ලබාදීමට අපට හැකියාව ලැබේවි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්වූහ.