නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

රැකියාවක් ඉලක්ක කරනවාට එහා ගිය පුලුල් අර්ථයකින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැක්මක් අවශ්‍යයි.

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවාට වඩා එහා ගිය පුලුල් දැක්මක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් පසුගිය ජුනි 8 දින සිට 21 දින දක්වා ඉන්දියාවේ පැවති පුහුණු සැසිය නිමාකර මෙරටට පැමිණි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවා ය.

දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි නිලධාරීන් දෙදෙනෙකු බැගින් මෙම පුහුණුව සඳහා තෝරාගෙන පැවති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ආසියානු ඉගෙනුම් මාධ්‍ය කේන්ද්‍රය විසින් මෙම පුහුණුව පැවැත් විය. මෙතෙක් කිසිදු විදේශ පුහුණුවක් නොලත් දිවයින පුරා සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙම පුහුණුව සඳහා තොරා ගෙන තිබීම විශේෂත්වයකි.

ඉන්දියාවේදී ලද පුහුණුව අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් සහ එම පුහුණුව ලත් නිලධාරීන්ගෙන් ගුණාත්මක සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා යොදා ගැනීම මෙහි අරමුණ විය.

අධ්‍යාපන අමාත්‍යංශයේ විදේශ ආයතන සහ විදේශ කටයුතු ශාඛාව සංවිධානය කළ මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශාඛාව නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

මාධ්‍ය ඒකකය.