නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.

ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය. එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අමාත්‍යතුමිය පැවසී ය.

අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය. මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.

මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් මෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීහූ රැස් ව සිටියහ.

මාධ්‍ය ඒකකය