– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
අමාත්‍යවරිය මේ බව පැවසූවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රොබෝ ෂූ -2025 රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ සමස්ත ලංකා පාසල් තරගාවලිය නමින් අද දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පැවසූවේ, රටක් වශයෙන් තාක්ෂණය මුල් කරගනිමින් අභියෝග ජයගත හැකි පරපුරක් බිහි කිරීමේ භුමිකාවක් අධ්‍යාපනයෙන් ඉටු කරන බවයි. ගෝලීය තාක්ෂණික පරිණාමයන් හා රැකියා වෙළඳපොළේ ඉල්ලුම සමග ගැළපෙන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද, වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයන් පමණක් නොව, කෘෂිකර්මය, කර්මාන්ත මෙන් ම එදිනෙදා සාමාන්‍ය ජීවිතය ද වෙනස් වෙමින් තාක්ෂණය ද ශීඝ්‍රයෙන් යාවත්කාලීන වෙමින් පවතින බව ද අමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නා ය.
පාසල් දූ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීම, ඔවුන් දිරිගැන්වීම හා ඇගයීම, අනාගත වැඩ ලෝකයේ දිශානතිය පිළිබඳ අවබෝධය යාවත්කාලීන කරවීම, නව්‍යතාවෙන් යුතුව සිතීමට දරුවන් යොමු කරවීම හා එමඟින් දරුවන්ගේ නවෝත්පාදන හැකියාව වැඩි දියුණු කිරීම, රොබෝ තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි රජයේ මැදිහත්වීම ශක්තිමත් කර, පාසල් දූ දරුවන්ගේ හැකියාවන් දිවයින පුරා ප්‍රචලිත කරවීම මෙන් ම අනාගත වැඩ ලෝකයට සරිලන පරිදි ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය රොබෝ ශිල්පීය කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම එමඟින් ස්වංක්‍රීයකරණය පිළිබඳ ව්‍යවසායකත්ව සංකල්ප ස්ථාපනය කිරීම යන අරමුණු පෙරදැරිව මෙම රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලිය පැවැත්වෙන අතර නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යයන, අධ්‍යාපන, ඉංජිනේරු, නිෂ්පාදන, විනෝදාස්වාද, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක යන ක්ෂේත්‍ර ඔස්සේ වාර්ෂික ව මෙම තරඟාවලිය පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි ජාතික හා පළාත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතුවල නිරත වන වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් මෙම තරගය සඳහා සහභාගී වන අතර, ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා මූල්‍ය ත්‍යාග සහ කුසලතා සහතිකපත් ලබා දේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහමඩ් නවවි යන මහත්ම මහත්මීන් එක් වූ අතර සිසු දරුවන්ගේ විවිධ නිර්මාණ නිරීක්ෂණයට අගමැතිනිය ද ඔවුන් හා එක් වූවා ය.
මාධ්‍ය ඒකකය













