යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් අද 22 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“අපගේ රජය විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරමින් ඉන්න යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය තුළ ලොකු උනන්දුවක් වගේම සැලකිය යුතු මට්ටමේ කතාබහකුත් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ අපි රජයක් හැටියට සතුටු වෙනවා. ජාතික වැදගත්කමක් තියෙන මේ වැඩපිළිවෙළ ගැන සමාජ සංවාදයක් ඇතිවෙන එක ඉතාම වැදගත්.
මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඔබ සියලුදෙනාම යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන, ඒ අනුව ඔබ දැනුම්වත් කිරීමේ සහ මේ පිළිබඳ ඔබගේ යෝජනා සහ අදහස් ලබාගැනීමේ එක් පියවරක් විදිහටයි අද අපේ මේ හමුව පැවැත්වෙන්නෙ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සැකසු විස්තරාත්මක ලේඛනයක් ඔබ වෙත ලබාදීමෙන් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඔබගේ අදහස් සහ යෝජනාවලට ඇහුම්කන් දෙන්න අපි සූදානම්” යනුවෙන් අග්‍රමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.
අගමැතිතුමියගේ මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය දර්ශන සමරවීර මහතා විසින් විස්තරාත්මක දෘශ්‍ය මාධ්‍ය පැහැදිලි කිරීමක් පැමිණ සිටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවඥානම් ශ්‍රීධරන්, අජිත් පී පෙරේරා, රෝහිණි කවිරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අදහස් දැක් වූ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සාධනීය කාරණා වෙත තම සහායෝගය ලබා දෙන බවත් එහිදී පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් පැවසූහ.
ඉංග්‍රීසි බස අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගැනීම කෙරෙහි සහ ඉංග්‍රීසි බස වඩා ප්‍රචලිත කිරීම, අධ්‍යාපනයට අවශ්‍ය මානව සම්පත් හැකි උපරිමයෙන් ලබාදීම යනාදි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අවධානය යොමු වු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ඔවුන් මතු කළ ප්‍රශ්නවලට, අගමැතිතුමියත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් පිළිතුරු ලබා දුන්හ.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,
විෂයමාලා ප්‍රතිසංස්කරණය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු එකක් නොව එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත්, ඒ අනුව මෙවර සිදු වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය (System) එකම වෙනස් කිරීම බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, එය කඩිමුඩියේ නොව කාලයක් අරගෙන පරික්ෂාකාරීව අදියරෙන් අදියර ඉදිරියට කරගෙන යාමට නියමිත ක්‍රියාවලියක් බවත් ප්‍රකාශ කළාය.
මෙහි පළමු අදියර 2026 දී පළමු වසර සහ හය වසර සිසුන් සඳහා ක්‍රියාත්මක කරන බවත්, එහිදී ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළාය. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සාපේක්ෂව වෙනස් මෙන්ම නව ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරන බව පැවැසූ අග්‍රාමාත්‍යතුමිය, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, විෂයමාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්, අධ්‍යාපන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංකරණ, තක්සේරුකරණය සහ ඇගයීම් ක්‍රියාවලිය, මහජනයා දැනුම්වත්කිරීම හා ප්‍රචාරණය යන කුළුණු පහ මත පදනම් වන බවත් පෙන්වා දුන්නාය.
පක්ෂ විපක්ෂ සියලූම ගරු මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම් සහ ඔවුන්ගෙන් මතු වූ ප්‍රශ්නවලට සාවධානව සවන් දෙමින් ඒවාට නිසි පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය, මෙවැනි දැනුම්වත් කිරීම් ඉදිරියේදිත් සිදු කරන බවත්, මෙම අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් පිළිබඳ තම අවධානය යොමු කරන බවත්, එසේ කරුණු ඉදිරිපත් කිරීම ගැන තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළාය.
මෙම හමුවට පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය













