නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

“දරුවා පාසලට භාර දීලා දෙමව්පියන් රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා..”

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අගෝස්තු 26 දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ අදහස් දැක්වී ය.

“2026 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ව පළාත් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීමේ අවසාන අදියරටයි අපි මේ පැමිණ සිටින්නේ.

මීට මාස ගණනකට පෙර උතුරුමැද පළාතෙන් ආරම්භ කළ මෙම දැනුම්වත් කිරීමේ සාකච්ඡා මාලාව අනෙක් සෑම පළාතක ම පවත්වා ඌව පළාතෙන් තමා අවසන් වෙන්නෙ.

හැමෝම අවශ්‍යයි කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ ඇයි කියන කාරණය අපි වටහාගත යුතුයි. ඒ වගේ ම අවබෝධ කරගත යුතුයි. අපි ආණ්ඩුවට පත් වෙන්න පෙර සිට එනම් 2011, 2012 වර්ෂවල සිට ම ජාතික ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ආරම්භ කළ සංවාදයක් තිබෙනවා. අධ්‍යාපනය යනු කුමක් ද, අධ්‍යාපනය මොකට ද, සහ අධ්‍යාපන යාන්ත්‍රණය පවත්වාගෙන යාමේ රජයේ කාර්යභාරය කුමක් ද යන කරුණු සම්බන්ධයෙන් අප විශේෂයෙන් අවධානය යොමු කළා.

මුලින් ම මේක ආරම්භ වෙන්නේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතුයි කියන තැනින්. ඔබට මතක ඇති 2011 වර්ෂයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයක් තිබ්බා අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරන්න කියලා. එය ඒ සංඛ්‍යාවට වත් මුදලට වත් සීමා කළ යුතු නෑ. යුනෙස්කෝ සංවිධානය කියලා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන් සියලු ම රාජ්‍යයන් අවමයක් ලෙස 6%ක් දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කළ යුතුයි කියලා. අපි ඒක සටන් පාඨයක් හැටියට ගත්තේ ඒ 6% කියන කාරණය තුළින් නෙවෙයි, රජය අධ්‍යාපනයට වගකිව යුතුයි කියන කාරණය අවධාරණය කරන්න.

ඇයි අපි එහෙම කතා කළේ සහ ඇයි ඒ සංවාද ඇති වුණේ?….. අපි දකින විදිහට අධ්‍යාපනය කියන්නේ පෞද්ගලික ආයෝජනයක් හෝ පෞද්ගලික ප්‍රතිලාභ ලබන දෙයක් නෙවෙයි. මේක සමාජයක් පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය දෙයක්. සමාජයක් පවත්වාගෙන යෑමට වගේ ම සමාජයක් පරිවර්තනය කිරීමට, සමාජයක් සංවර්ධනය කිරීමට, අධ්‍යාපනය තුළින් සිදු වන කාර්යභාරය ඉතා ම වැදගත්. එතකොට ඒකෙ බර සහ වගකීම පෞද්ගලික වගකීමක් පමණක් වෙන්නෙ නෑ. එතන සමාජීය වගකීමකුත් තියෙනවා. සමාජයට වගකීමක් තියෙනවා යනු රජයට වගකීමක් තිබෙනවා යන්නයි.

අධ්‍යාපනයේ අරමුණු පෞද්ගලික තැනකට ගෙන ඒම වැලැක්විය යුතුයි. එය දරුවකුගෙ වගකීමක්, පවුලක වගකීමක් ලෙස ගතහොත්, එහි ප්‍රතිලාභ සමාජීය ප්‍රතිලාභ ලෙස නොව පෞද්ගලික ප්‍රතිලාභ ලෙස බලාපොරොත්තු ඇති ව ඔවුන් කටයුතු කරනවා. මෙම සංකල්පය හරහා සිද්ධ වෙන්නේ, පෞද්ගලික ව දරන්න තියෙන මූල්‍යමය වියදම වැඩි වෙන එක වගේ ම වගකීමත් වැඩි වීමයි.

අද ප්‍රායෝගික ව ගත්තොත් මොකක්ද සිද්ධ වෙන්නේ? ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර කාලයක් වෙන් කරනවද, කොච්චර වෙලාවක් යොමු කරනවද ?…. මූල්‍යමය කාරණය පැත්තකින් තියන්න. අපි ඉස්කෝලෙ යන කාලේ අපේ අම්මලත් අද අම්මලත් අතර විශාල වෙනසක් තියෙනවා. මම දන්නවා බොහෝ මව්වරුන් ඉන්නවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්න රැකියාව අතඅරිනවා. තාත්තලා දරුවන්ගේ විභාග කාලවල දී නිවාඩු අරගෙන ගෙදර ඉන්නවා.

එවිට කුමක් ද සිදු වන්නේ?….. දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලික ව මැදිහත් වීමට සිදු වෙලා තියෙනවා. දරුවා පාසලට භාර දීලා දෙමව්පියන්ට රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා. මූල්‍යයමය පැත්තෙනුත් ඔවුන්ට විශාල වගකීමක් පෞද්ගලිකව දරන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ හේතූන් නිසා අධ්‍යාපනය යනු තමන්ගේ පුද්ගල අභිවෘද්ධිය සඳහා පමණක් කරන දෙයක් ලෙස මිස සමාජ වගකීමක් ලෙස හෝ සමාජය තුළ අපේ කාර්යභාරය කුමක් ද, කියන කාරණය සඳහා අවධානය දෙන කරුණක් ලෙස සැලකීම එන්න එන්න ම අඩු වෙනවා.

එවිට අපි කොහොමද හොඳ පුරවැසියෙක් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කරන්නෙ…. සමාජයට අවශ්‍ය නායකත්වය කොහොමද අපි මේ අධ්‍යාපනයෙන් බිහි කරන්නෙ….. සමාජය තුළ තියෙන ඒ සමාජීය ගැටලුවලට මැදිහත් විය හැකි ඒ මනුස්සයා කොහොමද මේකෙන් බිහි කරන්නෙ කියන කාරණාව මතු වෙනවා. ඊටත් වඩා බරපතළ ම කරුණ වන්නේ අධ්‍යාපනය කියන කොටස තුළින් පුද්ගල අභිවෘද්ධිය පමණක් බලන අතිශයින් ම තරගකාරී, අතිශයින් ම විභාග කේන්ද්‍රීය, අතිශයින් ම ආත්මාර්ථකාමී තැනකට අපි අධ්‍යාපනය ඇදලා දාලා තියෙනවා.

අද සමාජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලන එක තුළ ඔය සියලු ම දේවල් ගැබ් වෙලා තියෙනවා. එතකොට මේක විශාල වැඩක්. අධ්‍යාපනය මොකක් වෙනුවෙන් ද, අධ්‍යාපනයේ වගකීම කවුද දැරිය යුත්තේ, අධ්‍යාපනයේ ප්‍රතිලාහ කෙසේ හිමි විය යුතු ද, ‘Outcomes’ මොනවද.. යනාදී මේ සියල්ල ම පුළුල් ලෙස සාකච්ඡා වෙමින්, විය යුතු පරිවර්තනයන් ගැන අපි කතා වෙනවා.

බොහෝ වෙලාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපි සියලු දෙනාගෙ ම අවධානය විෂය මාලාවට යනවා. නමුත් මම ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නෙ මේ පරිවර්තනය විෂය මාලා පරිවර්තනයක් විතරක් නෙවෙයි කියන එක හොඳින් අවබෝධ කරගන්න.

අපි ලෝකෙ තියෙන දක්ෂ ම විෂයමාලා සංවර්ධනය කරන නිලධාරීන් ගෙනැල්ලා හොඳ ම ‘module’ ටික හැදුවත් මොකක් වෙනුවෙන් ද ඒ කරන්නෙ කියන එක ගැන අපිට පැහැදිලි අදහසක් නැත්තන් මේ අධ්‍යාපන පද්ධතිය තුළ තියෙන විෂමතා, අසමානතා, අසාධාරණකම් පිළිබඳව අපි හරියට ආමන්ත්‍රණය කළෙ නැත්තන්, පද්ධතියේ තියෙන දුර්වලතා හරියට හඳුනාගෙන ඒවා නිවැරැදි කරන්න අපි හරියට ක්‍රියාත්මක වුණේ නැත්තන් මේ අපි උත්සාහ කරන සුපිරිම විෂය මාලාව උනත් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙන තැනට අපිට යන්න වෙන්නෙ නෑ.

ඒ නිසා අපි අධ්‍යාපනයේ පරිවර්තනයක් වෙනුවෙන් ඉදිරිපත් කරන සැලැස්ම කුලුනු 05ක් ඔස්සේ සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව මෙය එකකින් විතරක් අල්ලගෙන තියෙන දෙයක් නෙවෙයි. මෙය ක්‍රියාත්මක කරන්න යනකොට අභියෝග එනවා, විරෝධතා එනවා, සංවාද එනවා. ඒවා අත්‍යවශ්‍යයි.

අමාත්‍යාංශ ලේකම්තුමා කිව්ව විදිහට අපිට මේක අපේ අවසාන සැලැස්ම කියලා ඉදිරිපත් කරන්න බෑ. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය, ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් හොයමින් යන ගමනක්. ඒ ගමන්මග ඉවර විය යුතු තැන ගැන අපිට අදහසක් තියෙනවා. නමුත් මේක භූමියේ හරියට පැළ කරන්න නම් මේ ක්‍රියාවලිය තුළ හරියට ඉගෙන ගනිමින් අත්දැකීම් ලබමින් වෙනස් වෙන්නත් සූදානම් වෙන්න ඕන. එහෙම කරොත් විතරයි අපිට මේය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

මෙම අවස්ථාවට වැවිලි, ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් රණසිංහ, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ඌව පළාත් අධ්‍යාපන බලධාරීහු සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය