නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

ජගත් පරිසර දිනයට සමගාමීව ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ
රුක් රෝපණ වැඩසටහනක් ‘ඉසුරුපායේ ‘ දී ආරම්භ වෙයි.

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ ජාතික පරිසර සති සැමරුම හා ඊට සමගාමී ව යෙදී ඇති රුක් රෝපණ දින වැඩසටහන ක්‍රියාවට නංවමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍ර භූමියේදී පලතුරු පැළයක් රෝපණය කළා ය.


අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජගත් පරිසර දින සැමරුම් දී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ඉදිරි පරපුරට සම්පත් ඉතිරි කර දීමේ තිරසර සංවර්ධන අරමුණු කරා යන ගමනේ දී සොබාදහම හා පරිසරය සුරැකීම පිළිබඳ යහ ආකල්පමය සිතුම්පැතුම් සහිත සංස්කෘතියක් ගොඩනැංවීම උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැහැර හැරිය නොහැකි නියමු කාර්යභාරයක් පැවරී ඇති බවයි.


එමෙන් ම සොබාදහම හා පරිසරය සමඟ ඇති කරගන්නා අවියෝජනීය බැඳීම මත වර්තමානයේ අප මුහුණ පා සිටින දේශගුණික විපර්යාසයන්ගෙන් මිදී මතු පරපුර උදෙසා ගහකොළ වන බිම් ඇතුළු ස්වාභාවික පරිසරය සුරැකීමේ දීපව්‍යාප්ත කාර්යභාරය, අමාත්‍යාංශ මට්ටමින් ‘දලුලන්න ඉඩ දෙන්න’ නමින් අද දින සංකේතාත්මක ව ආරම්භ කළ බව ද අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.


එම වැඩසටහනේ ඉදිරි පියවරයන්හි දී සියලු දෙනා දෛනික ජීවන රටාව තුළ පරිසරය හා සොබාදහම පිළිබඳ මනා විධිමත්බවකින් හා සංවේදීබවකින් කටයුතු කිරීම අපේක්ෂිත වන අතර ඒ අනුව අනවශ්‍ය ලෙස එක විදුලි පහනක් පවා නොදැල්වීම, නිකරුණේ කඩදාසි කොළයක් හෝ නාස්ති නොකිරීම, ප්ලාස්ටික් පොලිතීන් භාවිතයෙන් හැකිතාක් මිදී පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වීම වැනි හැසිරීම් මගින් අප සියලු දෙනා ද පරිසරයේ ම කොටසක් ය, යන හැඟීම සහිත ව කටයුතු කළ යුතු ව ඇති බවත් අමාත්‍යවරිය මෙහි දී පැවසී ය.


මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අතිරේක ලේකම් වසන්ත ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
මාධ්‍ය ඒකකය.

මාධ්‍ය ඒකකය.