– අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාහීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ මහතා මේ බව පැවසූයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සඳහා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමනි.
මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සහභාගී වී සිටි අතර එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා සිය අධ්‍යයන සහ අනධ්‍යයන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය. ගුරු ශික්ෂණලාහීන්ට ගුණාත්මක අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් කල් අවධානය යොමු නොවුණු ගැටලුවලට සිය විශේෂ අවධානය යොමු කරන බවත්, සුවිශේෂි ගැටලු පවතින විද්‍යා පීඨවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කර කඩිනම් විසඳුම්වලට එළඹෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
ගුරු ශික්ෂණලාහීන්ට නිදහස් ඉගෙනුම් පරිසරයක් සකසා දීම සහ ඔවුන්ගේ මානසික යහ පැවැත්ම වෙනුවෙන් පියවර ගැනීම අනාගත ආයෝජනයක් වෙනවා. මොකද ඉදිරියේ දී පාසල් ගුරුවරුන් විදියට සිසුන් අතරට යන්නෙ ඔවුන් නිසා. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා උපදේශන සේවා ශක්තිමත් කිරීමට මේ වන විටත් අප පියවර ගනිමිනුයි තිබෙන්නෙ.
මේ අවස්ථාව සඳහා ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් ඉරෝෂිණී කේ. පරණගම මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් සහභාගි වී සිටියහ.



