– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ඇතිවන සංවාදවල යෝජනා, චෝදනා අදහස්වලට ඇහුම්කන් දෙමින් වඩාත් ගුණාත්මක ප්රතිසංස්කරණයක් සිදු කරන බවත්, මේ ප්‍රතිසංස්කරණ පක්ෂයක හෝ කණ්ඩායමක කාර්යයක් නොව ජාතික වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාත් බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
2024 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වුණා වසරකට 20,000ක පිරිසක් පාසලෙන් ඉවත් වුණාම වුණේ මොකක්ද කියලා හොයා ගන්න නැහැ කියලා. ඒ වගේම පාසල් යන දරුවන්ගෙන් 80,000ක් හරියට පාසලට පැමිණ නැහැ. වසරකට පළමු වසරට ලක්ෂ තුනක් ඇතුලත් වෙනවා. ඒ දරුවන්ගෙන් විවිධ අවස්ථාවල පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙලා ලක්ෂ එක හමාරක් විතර වෘත්තීය අධ්‍යාපනයට හෝ පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවා. රජයේ විශ්වවිද්‍යාල වලට 40,000ක් පමණ ඇතුලත් වෙනවා. නමුත් ඉතිරි දරුවන්ට මොකද වෙන්නේ, ඔවුන්ගේ අනාගතය මොකක්ද කියලා කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සිදු කරන්න කටයුතු කර තිබෙනවා.
අපේ පාසල් අධ්‍යාපනය තුළ වසර 13ක් අධ්‍යාපනය ලබලා පාසලෙන් පිට වෙන දරුවන්ට පහසුවෙන් රැකියා ලෝකයට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා. පාසලකින් ලබන අධ්‍යාපනය ප්‍රමාණවත් වෙලා නෑ රැකියාවකට යන්න. මේක විශේෂයෙන්ම අපේ ගැහැණු දරුවන්ට වැඩි වශයෙන් බලපාලා තියෙනවා. අපේ ගැහැණු දරුවන් පාසලේ දි ඉතාමත්ම හොඳින් දක්ෂතා පෙන්නුම් කරලා තිබුණට රැකියා වෙළඳපොළට ගියාම පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ගේ සහභාගීත්වය 50%කට වඩා අඩුයි.
අධ්‍යාපන කුසලතාව තිබුණත් රැකියා ලෝකයට පිවිසෙන්න දරුවන්ට අසීරු වෙලා තියෙනවා. ඒකට අධ්‍යාපනය විතරක් නෙවෙයි වෙනත් කාරණා ගොඩක් තියෙනවා. ඒ වගේම අද අපි මුහුණ දෙන සමාජ ප්‍රශ්නත් ඒකට බලපානවා. නීති රීති හරියට අනුගමනය කරන තැන සිට සමස්ත සමාජ ක්‍රියාවලිය තුළ සහකම්පනය, ඉවසීම, සාමාන්‍ය දැනුමක් සහිත රැකියාවකට පිවිසිය හැකි සමාජයට වගකියන පිරිසක් අධ්‍යාපනය තුලින් බිහි කිරීමත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණකි
විශේෂයෙන්ම නවීන තාක්ෂණික ලෝකය තුළත්, ඉතාමත්ම සීඝ්රයෙන් වෙනස් වෙන සමාජය තුළත් ගැටෙන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන් දරුවෙක් අපි නිර්මාණය කරන්න ඕන. අපිට හිතන්න බැරි වේගයෙන් තොරතුරු අපිට ගලාගෙන එනවා. නමුත් තොරතුරු විශ්ලේෂණය කරලා එහි සත්‍ය අසත්‍යභාවය ගැන අදහසක් ගන්න හැකියාව තියෙන පුද්ගලයින් බවට දරුවන් පත්විය යුතුයි. ගවේෂණශීලී මනසක් තියෙන දරුවන් තමයි අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ.
විභාග ප්‍රතිඵල වලට පමණක් සීමා නොවන නව තෝරා ගැනීම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ අපි පළාත් මට්ටමින් සිදු කරන හත් වන සංවාදය, ඒ හැම සංවාදයකින්ම අපිට ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් වුණා. ප්‍රතිසංස්කරණ තව දියුණු කළ යුත්තේ කෙසේද කියලා.අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට අමතරව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සංගම් සමගත් සාකච්ඡා කරමින් යනවා. ඒ සියලු සංවාද හරහා එන යෝජනා අපිට ඉතා වැදගත්. මේ එක දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක වගකීමක් නෙමෙයි. මේක ජාතික වැඩසටහනක්, එ නිසා ජාතික සංවාදයක් සිද්ධ විය යුතුයි. ඒ සංවාදයේ ඇතිවන යෝජනා, චෝදනා, අදහස් වලට ඇහුම්කන් දෙන්නත්, ඒ අනුව සාධනීය වෙනස්කම් සිදු කරන්නත් අපි සූදානම්.
සංවාද විතරක් කරලා මේක කරන්න බැහැ කොතනින් හරි පටන් ගන්න ඕන. ඒ නිසා ලබන වසරේ සිට 1වසරට සහ 6 වසරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ආරම්භ කරනවා. යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ මධ්‍යම පළාත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
මාධ්‍ය ඒකකය













