ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයට සමගාමී ව අපේ රටේ ඔක්තෝබර් මස 06 වෙනිදාට යෙදී ඇති ජාතික ගුරු දිනය සමරමින් මෙවරත් දීපව්‍යාප්ත ව පවත්වනු ලබන විවිධ ගුරු ගුණ සැමරුම් උපහාරයන්ගෙන් පිදුම් ලබන සියලු ගුරු භවතුන්ට හෘදයාංගම ව සුබ පතමි.
මෙවර ජාතික ගුරු දින තේමා පාඨය වී ඇත්තේ, “ඉගැන්වීම, සාමුහික වෘත්තියක් ලෙසින් නව අරුතකින් හඳුනාගැනීම”, යන්නයි.
ඒ අනුව ගුරුවරුන්ගේ හඬට සවන් දී ගුරුවරුන් අගයන අතර ම අධ්‍යාපනය සඳහා වූ නව සමාජ කතිකාවතක ඉදිරියට ම යෑමට අප පියවර ඔසවා ඇත්තෙමු.
ජාතික ගුරු දිනයේ දී අපේ රටේ සමස්ත ගුරු භවතුන්ගෙන් ම මා ඉල්ලා සිටින්නේ, ඒ ගමන තුළ අධ්‍යාපන ඉතිහාසයේ නව පිටුවක් ලිවීමට අප හා එක් ව අත්වැල් බැඳ ගන්නා ලෙසයි.
අනාගත ලෝකයේ ඉදිරි දශකයක දුරට අවධානය යොමු කළත් අප සිසු පරපුර රැගෙන යා යුතු වෘත්තීයාභිමුඛ, තාක්ෂණික ඩිජිටල් අධ්‍යාපන රටාව පිළිබඳ පෙරදැක්මක්, දැයේ මාර්ගෝපදේශක ගුරු පරපුරට පවතිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
එම අනාගතය දිනාගැනීම සඳහා දරුවන් ජානගත ව දක්ෂයන්, සුදුස්සන් බවට පත් කිරීමේ වගකීමෙහි වැඩි බරක් ගුරු පරපුරේ දෑත මතට පැවරී තිබෙන බව නොරහසක්.
ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයේ උසස් පෙළ විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් වන අතර ඊට අවශ්‍ය ද්විතීයක පාසල් හා පුහුණු ගුරු භවතුන් ඇතුළු පහසුකම් හා මානව සම්පත් කඩිනමින් අප තෝරාබේරාගත යුතු ව ඇත.
අවම පහසුකම් මත ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා දරුවන්ට සිප් සත බෙදන ගුරු දෙමාපියවරුන් මේ අවස්ථාවේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
අද දින ඇගයෙන ගුරු ගුණ අතර ප්‍රසිද්ධියේ ඉස්මතු නොවන තම හෘද සාක්ෂ්යයට එකඟ ව අසීමිත කැපවීම් නිහඬ ව සිදු කළ ගුරුභවතුන් ද මේ මොහොතේ මම ඉතා ගෞරවාදරයෙන් සිහිපත් කරමි.
නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත ව ගුරු භවතුන්ගේ අසීමිත සේවය සිසු හදවත්වල සදා නොමැකෙන සේ සනිටුහන් කරවීමට සමත් සේවයක් ඉටු කිරීමට, අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට හැකි වේවායි, 2025 වසරේ ජාතික ගුරු දිනයේ දී මම ඉතසිතින් ම ශුභ ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය