‘තාක්ෂණය සහ දැනුම සමඟ ඉදිරියට යන්නට අපේ දරුවන්ට අවස්ථා ලබාදිය යුතුයි’ - ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

spm‘උසස් පෙළට පමණක් නොවෙයි, අනාගතයේ දී අනෙක් ශ්‍රේණිවලටත් ටැබ් පරිගණක ලබාදෙන්නට පියවර ගන්නවා ’

- ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වර්තමානයේ ලොව සියලු ක්ෂේත්‍ර තුළින් ඉදිරියෙන් සිටින්නේ දැනුම, තාක්ෂණය සපිරි රටවල් බවත්, අපේ දරුවන් ද අද පිවිස සිටින්නේ තාක්ෂණය සමඟ ස්මාර්ට් (smart) යුගයකට බවත්, තවත් වසර 10ක් පමණ ගතවනවිට මෙය ද වෙනස්විය හැකි බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ඊයේ (03) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කරන ලදී  . මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

spm1 spm2

නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, වෛද්‍ය තාක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තාක්ෂණය මේ වනවිට සංවර්ධනය වී ඇති බවත්, තාක්ෂණය සහ දැනුම සමඟ ඉදිරියට යන්නට අපේ දරුවන්ට පුළුල් ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතු බවත්, විශේෂයෙන් ම පාසල්වල උසස් පෙළට හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව මේ සඳහා හොඳ පිටුබලයක් වනු ඇති බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බවයි.

තාක්ෂණය සමඟ ලෝකය දිනෙන් දින වෙනස් වන බවත්, අද වැඩිහිටියන් යෙදෙන රැකියාවන්ට වඩා අනාගතයේ දී දරුවන්ට නිරතවන්නට සිදුවන රැකියා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගන්නා බවත්, ඔවුන්ට එවන් අනාගතයකට මුහුණ දිය හැකි දැනුමින් සන්නද්ධ කරවීම‍ට පියවර ගත යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

spm3 spm4

පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් සමඟ පාසල් එන්නට අවස්ථාව ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නා බවත්, අමතර කියවීම් පොත්, eඉගෙනුම්, e - ටියුෂන් ආදී පහසුකම් ඒ හරහා දරුවන්ට ලබාගැනීමට ඒ අනුව ඉඩ ප්‍රස්ථා සලසාදිය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය නගාසිටුවිය හැකි නිපුනතා සපිරි විදුහල්පතිවරුන් පද්ධතිය තුළ සිටිය යුතු බවත්, ඒ වෙනුවෙන් පසුගිය සමයෙහි පැවති විදුහල්පතිවරුන් බඳවාගැනීමේ ක්‍රමවේද වෙනුවට වඩාත් සාධාරණ හා ප්‍රායෝගික වූ බඳවාගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්නට පියවර ගත් බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

මෙහිදී පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද සහ නවීකරණය කරන ලද පාසලේ ප්‍රධාන ශාලාව සහ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.