පොතපතට ආදරය කරන සියලු හදවත් යලි පුබුදවමින් ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය වසර හයකට පසු නැවත වැඩ අරඹයි

book(වර්ෂ 1972 සිට පුරා වසර 40ක කාලයක් මෙරට ග්‍රන්ථ සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ මණ්ඩලය එවකට පැවති රජයෙහි පටු දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ දී ‍කැබිනට් තීරණයක් මත අහෝසි කර තිබිණි. එයින් මතු වූ හිඩැස සපුරන්නට ආදේශකයක් නොවිණි. පොත් ලියන, පොත් කියවන, පොත් පළ කරන, මුද්‍රණ කාර්යයෙහි යෙදෙන, ‍පොත් අලෙවි කරන සියලු පාර්ශවකරුවන්ට ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය යලි ස්ථාපනය කිරීමේ සුබ පණිවුඩය ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ අවධානය ඒ වෙත යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ ජුනි මස සිට ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය යලි ආරම්භ කරන ලදී. එහි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරා වසර 10ක් (1987-1996) අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් කටයුතු කළ පරිපාලන ක්ෂේත්‍රයේ මෙන් ම ග්‍රන්ථකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් සහිත ජයන්ත අල්විස් මහතායි. එතුමන් කලක් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ උපසභාපති ලෙස ද කටයුතු කර ඇත. )

ග්‍රන්ථ සංවර්ධනය කෙරෙහි ලෝකයේ අවධානය යොමු වූයේ මීට වසර 60කටත් පෙරාතුව ය. දශක හයකට එපිට ඉතිහාසය තුළ මිනිසුන් පොතපතට යොමු කළ හැකි සාමකාමී වාතාවරණයක ලෝකය නොපැවතිණි. අවි බලයෙන් ලෝකය දිනාගන්නට වැඩි අවධානය යොමු වූ පළමුවැනි සහ දෙවැනි ලෝක සංග්‍රාම පැවති එම කාලවකවානුව ලෝකයට බොහෝ ජිවිත සහ දේපළ අහිමි කළේ ය. මේ හේතුවෙන් දීර්ඝකාලීනව ජනතාව මුහුණ දුන් අභියෝග සැලකිල්ලට ගනිමින් තුන්වැනි ලෝක සංග්‍රාමයක් ඇති නොවීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටියේ ය. ඒ අනුව, රටවල් අතර ගැටුම් නතර කළ හැකි හොඳම ක්‍රමයක් ලෙස රටවල් අතර සංස්කෘතික ප්‍රගමනයක් වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ග දියත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේ ය. යුනෙස්කෝ සංවිධානයට පැවරුණු මේ කර්තව්‍යය තුළ ඒ ඒ රටවලට අනන්‍ය වූ සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීම මුඛ්‍ය අංගයක් විය. යුනෙස්කෝ සංවිධානයට අයත් ආසියානු සහ අප්‍රිකානු රටවල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ යටතේ පොත් සංස්ථා (BOOK TRUST ) ආරම්භ කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ අනුව, 1959 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ද පොත් සංස්ථාවක් ආරම්භ කෙරිණි. එහි ප්‍රථම ලේකම් වරයා ලෙස එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස කටයුතු කළ මහින්ද රළපනාව මහතා පත් කෙරිණි. 1966 වසරේ දී ග්‍රන්ථකරණ ක්ෂේත්‍රයෙහි නියැලෙන ප්‍රවීණයින්ගේ සාකච්ඡාවක් ජපානයේ, ටෝකියෝ හි යුනෙස්කෝ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. පොත් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ප්‍රධාන ආයතන දෙකක් සෑම රටකම පිහිටුවිය යුතු බව එහිදී තීරණය විය. පුස්තකාල සංවර්ධන මණ්ඩලය ඉන් එකකි. අනෙක් ආයතනය ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයයි.

රටක සංස්කෘතික ප්‍රගමනයක් ඇති කළ හැක්කේ සාහිත්‍ය කලා සංවර්ධනය කිරීමෙන් පමණක් බව එහිදී අවධාරණය කෙරුණු අතර 1968 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් BOOK FOR ALL ප්‍රකාශනය නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාව තුළ වර්ෂ 1970 දී පුස්තකාල සේවා මණ්ඩලය පිහිටුවනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් වසර දෙකකට පසුව එනම් 1972 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ද පිහිටුවනු ලැබිණි. යුනෙස්කෝ සංවිධානය 1972 වසර ජාත්‍යන්තර පොත් වර්ෂය ලෙස ද නම් කරන ලදී. 1980 දී පැවති යුනෙස්කෝ සමුළුවේ දී සෑම පුද්ගලයෙක් ම වසරකට අවම වශයෙන් පොත් 80ක් හෝ කියවිය යුතු බවට, එවන් තත්වයක් සෑම රටකම ඇතිකළ යුතු බවට එකඟතාවකට ද පැමිණියේය. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ඒ හරහා ග්‍රන්ථ සංවර්ධන කාර්යයන් රැසක් ආරම්භයේ සිට ම ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් ඉටු කළ ප්‍රමුඛ කාර්යයන්

· ජාතික පොත් ප්‍රතිපත්තියක් සකස් කිරීම

· සියලු ම ලේඛකයින්ගේ වෘත්තීය සංවර්ධනය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම

· සියලු ම පොත් ප්‍රකාශකයින්ගේ වෘත්තීය සංවර්ධනය

· රටේ සංස්කෘතිය හා ගැළපෙමින් ගුණාත්මකභාවයයෙන් උසස් පොත් නිෂ්පාදනයට දිරිගැන්වීම් ලබාදීම

· පොත් අලෙවිකරුවන්ට අවශ්‍යවන්නා වූ පහසුකම් සලසාදීම

· ලේඛකත්ව මාර්ගෝපදේශනය

· පාඨක රුචිය සහ දැනුම වැඩිවන ආකාරයේ ග්‍රන්ථකරණයට ලේඛකයින් දිරිගැන්වීම සහ පුහුණු කිරීම

· විශේෂයෙන් ම ළමයින් සහ යෞවනයින් සඳහා පොත් ලියන ලේඛකයින් දිරිගැන්වීම

· යහපත් පුරවැසියන් සහ යහපත් සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් දායකවීම

· ග්‍රන්ථ සංස්කාරකවරුන් පුහුණු කිරීම

· සෝදුපත් පරීක්ෂාකරුවන් පුහුණු කිරීම

· පිටු සැලසුම්කරුවන් සහ චිත්‍ර ශිල්පීන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම

· මුද්‍රණයට සුදුසු අත්පිටපත් සඳහා නිර්දේශ ලබාදීම

· මුද්‍රිත පොත් වට්ටම් සහිත ව මිළ දී ගැනීම

· අත්පිටපත් මුද්‍රණයට ආධාර ලබාදීම

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය 1972 වසරේ සිට 2012 වසර තෙක් පුරා වසර 40ක් ඉහත කාර්යභාරයන් ඉටුකිරීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක යෙදුණු බව පොත් ක්ෂේත්‍රයේ අඛණ්ඩ ව නිරතව සිටි සියලු පාර්ශවකරුවන් හොඳින් ම දන්නා කරුණකි.

මෙම කාර්යයන් නැවතත් ආරම්භ කරමින්, පොත් ක්ෂේත්‍රයේ තවදුරටත් සිදුකළ යුතු හඳුනාගත් සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කරමින්, විශේෂයෙන් ම නවීන තාක්ෂණය මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා යොදාගන්නා ආකාරය කෙරෙහි පර්යේෂණා‍ත්මක අත්හදාබැලීම් ද සිදුකරමින්, ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය සූදානම් ව සිටියි.

මේ වනවිටත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි ග්‍රන්ථ සංවර්ධන කටයුතු වෙනුවෙන් පෙනී සිටින පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ජාතික පොත් ප්‍රතිපත්තියක් ද කෙටුම්පත් කර තිබේ. ඉදිරියේ දී විද්වත් කතිකාවකට බඳුන්කිරීමෙන් අනතුරුව එම පොත් ප්‍රතිපත්තිය සම්මත කරගැනීමට අ‍පේක්ෂිත ය. එමෙන් ම ළමා පොත් රචකයින් සහ යොවුන් පොත් රචකයින් දිරිගැන්වීමට විශේෂ වැඩසටහන් සකස් කිරීම, ප්‍රමිතියෙන් යුත් අත්පිටපත් මුද්‍රණය සඳහා නිර්දේශ කිරීම, ලේඛකයින් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ළමා සහ යෞවන පොත් සඳහා පොත් ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යලිත් ක්‍රියාත්මක කිරීම, පාඨක රුචිය වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පොත් සංස්කාරකවරුන්, පොත් සැලසුම්කරුවන් සහ චිත්‍ර ශිල්පීන් පුහුණු කිරීම හා ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයට මාර්ගෝපදේශ ලබාදීමට පියවර ගැනීම, 2005 වසරේ දී ආරම්භ කරන ලද ගෘහ පුස්තකාල සංගමය යලි බලගැන්වීම ඇතුළු කාර්යයන් රැසක් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මගින් ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙනු ඇත.

සියලු මල් සහ ඵල දරා සිටිමින් සමස්ත තුරු පිරිවර සුරකින්නට තුරකට අවැසි සවිය සලසන්නේ තුරු මුලෙහි ශක්තියයි. සරු ලෙස දලුලන්නට ගසෙහි මුදුන් මුල පස යටට වී පත් අගට දෙන සවිය මෙන් ම මෙරට පොත් ක්ෂේත්‍රය සංවර්ධනය කරමින් සාහිත්‍ය කලා ප්‍රගමනයක් රටේ ඇතිකරමින් මලින් ඵලින් සරු මහා ගසක් සේ නැගෙන්නට ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයට ද මුදුන් මුලක කාර්යභාරය පැවරී තිබෙයි. ඒ වෙනුවෙන් කරඋර දිය හැකි සභාපතිවරයෙක් සහ නිලධාරි මඩුල්ලක් ද දැන් පත්වී සිටියි. මෙරට සාහිත්‍ය කලා ප්‍රගමනය වෙනුවෙන් පැහැදිලි ශක්තියක් ලබාදෙන්නට, සක්‍රීය දායකත්වයක් සපයන්නට සියලු පාර්ශවයන්හි හෘදයංගම සහයෝගය ඔවුන් වෙත ලැබේවායි! ප්‍රාර්ථනය කරන්නෙමු.