ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ Peace Corps සංවිධානයේ සහයෝගය. ගිවිසුම අත්සන් කිරීම

mouමෙරට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඇමරිකානු Peace Corps සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ Mr. Robert Hilton (Charge de Affairs of US Embassy, Colombo) ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (09) සිදු කෙරුණු අතර අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ Ms. Kris Besch (Country Director, US Peace Corps) විසින් එම ගිවිසුම අත්සන් කරන ලදී.

නවීන හා නවෝත්පාදන ප්‍රවේශයන් ඔස්සේ ජාත්‍යන්තර ප්‍රවණතාවලට මුහුණදිය හැකි නිපුණතා සහිත පුරවැසියකු බිහිකිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරන කටයුතු සඳහා මෙම ව්‍යාපෘතිය විශාල රුකුලක් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවසීය.

පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර Peace Corps සංවිධානයේ ස්වේච්ඡා සේවකයින්ගේ ද සහයෝගයෙන් ක්‍රියාත්මක කළ DELIC ගුරු පුහුණු වැඩසටහනෙහි සාර්ථකත්වය සිහිපත් කළ අතර, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ මෙරට අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.

mou1අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන Peace Corps සංවිධානයේ මූලික කාර්යභාරය වන්නේ මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය නගාසිටුවීම සඳහා සහය වීමයි. ඒ සඳහා පැමිණෙන ස්වේච්ඡා සේවකයින් ශ්‍රී ලංකාව තුළ වසර දෙකක කාලයක් සේවය කිරීමට නියමිත අතර මුල් මාස තුනක කාලය තුළ එම පිරිසට පූර්ණ කාලීනව සංස්කෘතික, භාෂා සහ තාක්ෂණික පුහුණුව ලබාදීමට කටයුතු කරන අතර පසුව විද්‍යාපීඨයන්හි ඉගෙනුම ලබන ඉංග්‍රීසි පුහුණුලාභීන් වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට නියමිතය.

ලෝකය පුරා සාමය හා මිත්‍රත්වය ඇති කිරීමේ අරමුණින් ස්වේච්ඡා සාම ප්‍රජාව Peace Corp ජෝන් එෆ් කෙනඩි හිටපු ජනාධිපතිවරයාගේ අදහසක් අනුව 1961 දී ආරම්භ කර තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 141 ක ප්‍රජාව සමග මෙම සංවිධානය සහයෝගීව කටයුතු කරනු ලබන අතර 1962 සිට 1998 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය හා තරුණ සංවර්ධන යන අංශවල සේවය සඳහා ද Peace Corps සංවිධානයේ ස්වේච්ඡා සේවකයින් මෙරටට පැමිණ සේවය ලබා දී තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හා Peace Corps සංවිධානයේ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.