මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලු දූ පුතුන්ට සහ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දූ පුතුන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගෙන් සුබපැතුම්!

minister1දෙවැනි පාසල් වාර නිවාඩුව ආරම්භ කරමින් එළඹෙන අගෝස්තු මාසයට ඔබ සියලු දෙනා දැන් ප්‍රවේශ වී සිටියි. පසුගිය සියලු වර්ෂවල අගෝස්තු පාසල් නිවාඩුව සතුටින් සැහැල්ලුවෙන් විවේකී ව ගත කළත් මෙවර ඔබේ කාලය  එළඹෙන විභාගය වෙනුවෙන් වෙන්කරන්නට සිදුව තිබෙයි. 

විභාගය ඔබගේ දැනුම මැන බැලෙන එක් සුවිශේෂ ඇගයුම් ක්‍රියාවලියකි. එහෙත් මෙහිදී දරුවන්ගේ සියලු දැනුම හා හැකියාවන් විභාගය තුළින් මතුකර පෙන්වන්නට දී හැකියාව නොලැබෙයි. එහෙත් දෙන ලද කාලසීමාවක් තුළ විෂය දැනුම ආශ්‍රිතව ‍නිශ්චිත ව විමසා සිටින ප්‍රශ්න සමූහයකට පිළිතුරු සැපයීමේ අභියෝගයට දරුවන්ට මෙහි දී මුහුණ දෙන්නට සිදුවෙයි. කාල කළමනාකරණය, කාර්යක්ෂමතාව, අභියෝගවලට නොසැලී මුහුණ දීමේ ආත්ම විශ්වාසය, මතක ශක්තිය මේ හරහා පරීක්ෂා කෙරෙයි.

විෂය දැනුමින් ඉතා පොහොසත් ඇතැම් දරුවන්ට විභාග දැනුම අල්ප වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල මඟහැරී යයි. විභාග දැනුමත් විෂය දැනුමත් සමබර වූ දරුවන් විශිෂ්ට සාමාර්ථ අත්පත් කරගනියි. කෙසේ වෙතත් විභාග යනු දරුවන්ගේ ජීවිත තීරණය කරන එක ම සාධකය නොවන බව විශේෂයෙන් ම වැඩිහිටියන් අවධාරණයට ගත යුතුය.

මේ නිසා ම දරුවන් විභාගය ලියා අවසන්ව නිවසට පැමිණි පසු ඔවුන් පිළිතුරු සැපයූ ආකාරය ගැන, විභාගයට ලියූ පිළිතුරු ගැන අනවශ්‍ය විමසීම් හා බලපෑම් කරමින් අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන මෙන් සියලු මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නට ද මෙය අවස්ථාවක් කරගනිමි. පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ මුල් සතිය තුළ ම පවත්වන්නට ජාතික මට්ටමින් තීරණය කළ එක් හේතුවක් වූයේ ද දරුවන්ගේ පාසල්  නිවාඩු කාලය නිදහසේ ගත කරන්නට විභාගයෙන් අනතුරුව ඉඩ සැලසීමයි. 

එමෙන්ම උසස් පෙළ විභාගය පිණිස දරුවන් විභාගයෙන් පසු  තමන්ගේ කුසලතා සහ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යෙමුකිරීමේ වැදගත්කම ද මතු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර තරුණ්‍යයේ නිදහස භුක්ති විඳිනවා සේම යුක්ති ගරුක සාධාරණ සහ විනය ගරුක පුරවැසියෙකු ලෙස සමාජගත වීමේ ස්වයං හික්මීමෙන් යුතු වගකීම ද ඔබ වෙත පැවරී ඇති බව  සිහිපත් කිරීමට ද කැමැත්තෙමි.

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග දෙක සඳහාම පෙනී සිටින සියලුම දරු දැරියනට නැවතත් සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර ආත්ම විශ්වාසයෙන් සහ තිර අධිෂ්ඨානයෙන් යුතුව විභාගය සඳහා පෙනී සිටින්නට අවශ්‍ය ශක්තිය සහ ධෙර්යය ලැබේවා!යි ද අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ප්‍රාර්ථනා කරමි.