පසුගිය වසරේ ශිෂ්‍යත්ව හපනුන්ට 30 වන ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීමට අවස්ථාව

gr5 scholපසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් සිසු සිසුවියන් හය (06) දෙනෙකුට සාමය හා සහජීවනය තේමා කරගත් ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු විය.

30 වන වරටත් සංවිධානය කර ඇති මෙම සමුළුව ජූලි මස 13 වන දින සිට 23 දින දක්වා ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වේ. ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයකු වන ආසියානු ෆැසිපික් ළමා සමුළුව සාමාජික රටවල් හතළිස් පහකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ නිල සම්බන්ධිකරණය සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි.

මෙම සමුළුව විසින් වාර්ෂිකව ජපන් ජාතික ශිෂ්‍ය දූත කණ්ඩායම් සාමාජික රටවල සංචාරය කිරීම සදහා යොමුකිරීම ඇතුළුව ලොව පුරා සාමය සහ සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

gr5මෙවර පැවැත්වෙන ආසියානු ෆැසිපික් ළමා සමුළුවේ 30 වන සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් ද සමුළුවට සහභාගිවන පිරිස් වෙනුවෙන් සැලසුම් කර තිබේ. ඒ අනුව පාසල් නිරීක්ෂණ චාරිකා, සංස්කෘතික හුවමාරු වැඩසටහන්, ජපන් ජාතික සත්කාරක පවුල් සමග කාලය ගත කරමින් අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය කරගැනීමේ අවස්ථාවලට ද ශ්‍රී ලාංකික සිසු දරුවන් සහභාගි වීමට නියමිතය.

ගුවන් ටිකට් පත් ලබාදීමේ අවස්ථාවට එක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ කලාපයේ රටවල සංස්කෘතිය හා ජීවන රටාවන් අවබෝධ කරගැනීමට සිසු දරුවන්ට ලැබුණු මෙම අවස්ථාව සම්බන්ධව තමා අතිශයින් සතුටට පත්වන බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) ආර්.එම්.එම්. රත්නායක මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.