‘ ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ඉදි වූ තවත් ව්‍යාපෘතියක් සිසු අයිතියට...’

ns‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය - කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය සහ පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා විවෘත කරන ලදී. අදාළ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුලු මුදල රුපියල් මිලියන 20 කට අධිකය. විදුහල්පති කාමරයක්, නියෝජ්‍ය විදුහල්පති කාමර 03 ක්, රැස්වීම් ශාලාවක් මෙන්ම කාර්යාල සේවා කාමරයක් සහ නව පන්ති කාමර රැසකින් ද මෙම අභිනව තෙමහල් ගොඩනැගිල්ල සමන්විතය. අලුතින් ඉදි වූ නව පරිපාලන ඒකකය ද නවීන අංගෝපාංගවලින් සමන්විත වීම විශේෂත්වයකි.

ns2මීට අදාළ උත්සවයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, කුමන බාධක පැමිණියත්, රටක් විප්ලවීයව වෙනස් කළ හැකි හොඳම මෙවලම වන අධ්‍යාපනය දියුණු කිරීමට තමන් ඇපකැප වී ක්‍රියා කරන බවයි. කුමන විවේචන එල්ල වූවත් අධ්‍යාපනය දියුණු කිරීමේ සිය වගකීම නොනවත්වාම ඉටු කරන බව ද මෙහිදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.