අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනය

3K1A3156විනාශ මුඛයට ඇද වැටී ඇති මෙරට බෞද්ධ උරුමයන් සුරැකීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස බෞද්ධ දර්ශනයට සහ රටේ පවත්නා නීති අණ පනත් අනුව කටයුතු කරමින් සිටින මොහොතක කරුණු විකෘති කරමින් පදනම් විරහිත මතවාද තම පටු වාසි වෙනුවෙන් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීම කණගාටුදායක තත්වයකි. ඉන් ඇතැමෙක් ගිලිහී ගිය බලය නැවත ලබා ගැනීම සඳහා බෞද්ධ ජනතාව මුලා කිරීමේ කටයුත්ත සුපුරුදු ලෙසින් සිදුකරමින් සිටින බව පැහැදිලි වේ. ඇතැමෙකු වංචා දූෂණය අක්‍රමිකතා වසා ගැනීමටත් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමටත් උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබේ.

සද්පරමාර්ථයෙන් යුක්තව මෙරට බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මොහොතක ඒ සඳහා වැරදි අර්ථකථනයන් ලබා දීමට ඇතැමෙක් ක්‍රියා කරයි නම් ඒ පිටුපස සැබවින් ම ඇත්තේ මෙරට බෞද්ධ උරුමය වනසා දැමීමේ කුමන්ත්‍රණයක් දැයි යන්න පිළිබඳ අපට මතුවන්නේ සැකයකි. එමෙන්ම මෙය මහා සඟරුවන සහ රජය අතර පවත්නා ගැටුමක් ලෙසත්, අස්ගිරි⁣ පාර්ශවය විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයට අදාලව සිදුකරන පළිගැනීමක් ලෙසත් හුවා දැක්වීමට ඇතැම්හු උත්සාහ ගත්හ.

දඹුලු ලෙන් විහාරය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවියේ දී 1996 වසරේ සිට2015 දක්වා සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට තීරණය කරනු ලැබුවේ 2017වසරේ පෙබරවාරි මාස 15 වනදා දඹුලු විහාරාධිපති ජූජ්‍ය ගොඩගම මංගල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේත්,පුරාවිද්‍යා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ රැස්වීමේදීය. එබැවින් මහා සංඝරත්නය සහ රජය අතර විරසකයක් නිර්මාණය කොට බොර දියේ මාළු බෑමට ඇතැමෙකු දරන උත්සාහය අප තරයේ හෙළා දකිමු. .

විහාරස්ථානයන්හි පිංකැටවලට ජනතාව පූජා කරන පඬුරු ගණන් බලා නැවත විහාරස්ථානවලට පැවරීම අද ඊයේ සිදුවන්නක් නොවේ. එය බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැවරී ඇති කටයුත්තකි. මේ නීතිමය තත්වය දැන දැනත්, අප විසින් පිං කැටවල ඇති ආදායම රජයට පවරා ගැනීමට ක්‍රියා කරන බවටත්; එය මවිසින් සිදු කරන්නක් බවටත් පවසමින් බෞද්ධ ජනතාව අතරට වැරදි මතවාදයක් ගෙන යාමට ඇතමෙක් උත්සාහ දරති. මෙලෙස කරණු විකෘති කර ජනතාව මෙන්ම මහා සංඝරත්නය ද නොමඟ යවන්නන් පසක් කරන්නේ ඔවුන්ගේ නොමේරූ මානසික තත්වයයි.


පිං කැට සහ විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර ආදායමක් ලැබීම යනු විෂයන් දෙකකි. මෙරට පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා එම මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා මෙරට පුරාවිද්‍යා ස්ථාන සහ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණයට යෙදවීමේ බලය පුරා වස්තු ආඥා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත සහ විහාර දේවාල ගම් පනත ප්‍රකාරව අප අමාත්‍යාංශය වෙත පැවරී තිබේ. සත්‍ය තත්වය එසේ වී තිබිය දී පදනම් විරහිත චෝදනා නැගීම කණගාටුදායකය.

ඉතා ශෝචනීය ලෙස විනාශ වී යන දඹුලු ලෙන් විහාරයේ සිතුවම් සහ පිළිම වහන්සේ ආරක්ෂා කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් සේ අපි සලකමු. බෞද්ධයින් ලෙස ⁣ බොහෝ දෙනෙකුට නොපෙනෙන අපේ උරුමයෙහි වටිනාකම විදේශික විද්වතුන් විසින් අපට පෙන්වා දී තිබේ. දඹුලු ලෙන් විහාරය සම්බන්ධව UNESCOසංවිධානය විසින් වහා ක්‍රියාත්මක කළයුතු නිර්දේශ ලබා දී තිබෙන්නේ ද එබැවිනි. ඊට අමතරව ICOMOSආයතනය,චිත්‍ර සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්ගේ නිර්දේශයන්ද තවදුරටත් ලබා ගනිමින් ලෙන් විහාරය සංරක්ෂණය පිළිබඳ ගතයුතු ප්‍රශස්තම තීරණ ගැනීම පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයක විද්වතුන් හරහා සිදුකිරීමට කටයුතු කළේ, අප පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳ විශාරදයින් නොවන බැවිනි.

ඒ අනුව සංරක්ෂණයට අවහිරතා ඇති නොවන පරිදි විහාරයට පැමිණෙන පුද්ගල සංඛ්‍යාව සීමා කිරීම හා සංරක්ෂණ අවශ්‍යතා අනුව යම් යම් කාලසීමාවන්හි නරඹන්නන් සදහා ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීම සිදුකළ යුතු බව පුරා විද්‍යා උපදේශක සභාවේ අදහස විය. මේ පිළිබඳව විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට ක්‍රියා මාර්ග ගැනීම සුදුසු යැයි අපි තීරණය කළෙමු. මෙයට ද විවිධ අර්ථකථනයන් ලබාදීම කණගාටුදායක ය. ඇතැම් පිරිස් විහාරයේ තේවා කටයුතු පවා නැවැත්වීමට තීරණය කර ඇති බවත් විහාරය වසා දමන බවටත් ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් සිටිති.

සංරක්ෂණ කටයුතු සදහා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන තාවකාලිකව වසා දැමීම ලෝකයේ සෑම රටකම සිදු කෙරෙන සාමාන්‍ය ක්‍රියාවලියකි. චීන මහා ප්‍රාකාරය, ඉන්දියාවේ ටජ් මහල හා බුද්ධගයා විහාරය පමණක් නොව ශ්‍රී ලංකාවේ දළදා මාලිගය එහි ස්ථානයන්හි යම් යම් කොටස් සංරක්ෂණ අවශ්‍යතා මත තාවකාලිකව වසා දැමූ අවස්ථා ඊට උදාහරණ කීපයක් පමණි.
ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු නිසි අයුරින් සිදු නොකළහොත් එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අනතුරක් පවතී. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට පොදුවේ අපකීර්තියක් අත්වන්නේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වූ ස්ථානයක වටිනාකම් ආරක්ෂා කරලීමට අපොහොසත් වූ ජාතියක් වශයෙනි. එසේ වුවහොත් දඹුල්ල ලෙන් විහාරය පිළිබද ජාත්‍යන්තර අවධානය ගිලිහි යාම වැළක්විය නොහැකි ය. අමාත්‍යවරයා ලෙසත් අමාත්‍යාංශය සෙත් අප ගන්නා සියලු තීරණ ක්‍රියාත්මක කරන්නේ බෞද්ධ දර්ශනය සහ රටේ පවත්නා නීති රීති අණ පනත් මෙන්ම මහා සංඝරත්නයේ ආශිර්වාද සහිතව පමණක් බවද අවධාරණය කරමු. දඹුල්ලේ සිට වසර ගණනක් දේශපාලනය කලද රංගිරි දඹුලු ලෝක උරුමය විනාශ මුඛයට ඇද වැටෙද්දී දේශපාලන වාසි වෙනුවෙන් වගකීම පැහැර හරින ලද ඇතැම් දේශපාලනඥයින් අද දඹුල්ල පිළිබඳ කිඹුල් කඳුළු හෙලමින් අප සිදුකරන කටයුතු විවේචන කිරීම තුළ පැහැදිලි වන්නේ දේශපාලන බලය සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාව මිස රට ජාතිය ආගම පිළිබඳ ඇති ආදරය හෝ භක්තියනොවේ

දඹුල්ල ලෙන් විහාරය පිළිබඳ සැබෑ තත්වය අවබෝධ කොටගෙන ඊට නිසි පිළියම් යොදනු වෙනුවට පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් වැරදි මත සමාජගත කරලීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ අපේ උරුමයන් අප ඉදිරියේ ම වැනසී යාම පමණි.
කෙසේ වුවද මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් එදා සිට කටයුතු කළ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනාහිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමටත්, පෞරාණික ස්ථානයන් සංරක්ෂණය කිරීමටත් ආශිර්වාද කරනු ඇති බව අපගේ විශ්වාසයයි.