ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩවර්ජන පරාජය කරමින් සුපුරුදු පරිදී සේවයට....

minබලලෝභී දේශපාලනික අරමුණු පෙරටු කරගත් වැඩවර්ජන පරාජය කොට දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වූ සියලු විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තුතිය පලකළේය.

දීප ව්‍යාප්තව පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් පාසල් අධ්‍යාපනය අඩාල කිරීමට ඇතැම් බලලෝභී වෘත්තීය සමිති අද දින දැරූ උත්සාහය මුළුමනින්ම ව්‍යාර්ථ වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ කරුණු සොයා බැලීමේදී තහවුරු විය.


සමස්තයක් ලෙස සියලුම ජාතික පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම 90% සීමාවද ඉක්මවා තිබුණි. පළාත් පාසල් වලද 88% වඩා වැඩි ගුරු සහභාගීත්වයක් පැවති බව වාර්තා විය. මෙය පාසැල් ගුරුවරුන් විසින් ලබාගන්නා රාජකාරී නිවාඩු,අසනීප නිවාඩු මෙන් ම,ප්‍රසූත නිවාඩු ,ආදිය අනුව සළකා බැලීමේ දී සාමාන්‍ය තත්ත්වයකි. නමුත් විශේෂත්වය වන්නේ ඇතැම් පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම100% සහ 98% මට්ටමින් පැවතීමයි.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක පාසැල් 10ක පමණ ගුරුවරුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතුණි. නමුත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වූ බව අදාළ විදුහල්පතිවරුන් විසින් වාර්තා කොට ඇත.

මෙම වැඩවර්ජනයට අදාළව ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයන් විසින් ඊයේ දිනයේ දී පාසල් පරිශ්‍රයන් වෙත ගොස් ඊට සහය දක්වන ලෙස බලකරමින් ගුරුවරුන් අතර අත් පත්‍රිකා බෙදා හැරීමක් සිදුකර ගුරුවරුන්ට වැඩවර්ජන සඳහා සහභාගී වන ලෙස පවසමින් තර්ජනය කළ බවට ද තොරතුරු වාර්තා වී තිබේ.⁣ එමෙන්ම ඔවුන්ගේ බලපෑම් නොතකමින් රාජකාරියට වාර්තා කළ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම් මෙන්ම පැමිණීමේ ලේඛන වල අත්සන් තැබීමට ඉඩ ලබා නොදීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇත. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නා මුවාවෙන් සිදු කරන මෙවැනි ක්‍රියාවන් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තරයේ හෙළාදකින අතර මෙම වැඩවර්ජනය පාසල් පද්ධතිය තුළ පරාජයට පත් වූ බව අප අවධාරණය කරමු.