අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රාජකාරි කටයුතු අරඹයි

spඅධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස මංජුල කාරියවසම් මහතා අද නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල්වරයකු වන මංජුල කාරියවසම් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරත වන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට අනුයුක්තව රාජකාරි කටයුතු සිදු කරනු ඇත.

සිය පාසල් කාලය තුළ දී ජවන හා පිටිය ක්‍රීඩකයකු ලෙස පළාත් සහ ජාතික මට්ටමේ ශූරතා රැසක් දිනා ඇති කාරියවසම් මහතා දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයකු ද වේ. 1988 වසරේ දී දක්ෂතම පාසල් වොලිබෝල් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ඇති මංජුල කාරියවසම් මහතා 1987 වසරේ තායිලන්තයේ බැංකොක් නගරයේ දී පැවති කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම ද නියෝජනය කර තිබේ. මීට අමතරව පාසල් ශිෂ්‍ය භටයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1989 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1991 වසරේ දී ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවයට එක් වී තිබේ.
යුද හමුදා කාල තුවක්කු රෙජිමේන්තුවේ ජවන හා පිටිය ක්‍රීඩා කණ්ඩායම හා වොලිබෝල් කණ්ඩායම් ජයග්‍රහණ සඳහා ද කටයුතු කර ඇති අතර, 2012/13 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙස්ලින් සංගමයේ ද ලේකම් ධූරය දැරූ කාරියවසම් මහතා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ විවිධ ආයතනවල තනතුරු රාශියක කටයුතු කරමින් පරිපාලනය, පුහුණු කිරීම් සහ නායකත්වය පිළිබඳ අත්දැකීම් රැසක් ලබා ඇති නිලධාරියෙක් ද වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ වෙනුවෙන් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්ද එළි දක්වා තිබේ. පසුගිය සමයේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය අකර්මන්‍ය තත්වයක පැවති අතර පාසල් ක්‍රීඩා සංගම් හා අමාත්‍යාංශය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් ගැටළු රැසක් ද නිර්මාණය වී තිබුණි. ඇතැම් අවස්ථාවල පාසල්වල විනය පිරිහිමේ සිදුවීම් ද වාර්තා වූ අතර එම තත්ත්වය වළක්වා පාසල් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය දියත් කර ඇති වැඩසටහන් සඳහා මංජුල කාරියවසම් මහතා සිය සක්‍රීය දායකත්වය ලබා දෙනු ඇත.